ලූක් 5
5
පළමු ගෝලයෝ
1වරක් යේසුස්වහන්සේ ගෙන්නසරෙත්#5:1 එනම් ගලීලයේ මුහුද විල් තෙර සිටගෙන සිටියදී, ජනයා දෙවියන්වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේට තෙරපෙන්නට වූහ. 2විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන්වහන්සේ දුටු සේක. මන්ද ධීවරයෝ ඔරුවලින් බැස, තම දැල් සෝදමින් සිටියහ. 3උන්වහන්සේ ඉන් එකකට, සීමොන්ගේ ඔරුවට ගොඩ නැගී, වෙරළින් එය මඳක් එහාට කරන්නැයි ඔහුට පවසා, ඔරුවේ හිඳ ජනයාට උගන්වන්නට වන් සේක.
4කතා කර නිම වූ පසු උන්වහන්සේ සීමොන් අමතා, “මාළු මඩියක් අල්ලා ගන්නට දියඹේ ගැඹුරට ගොස්, දැල් දමන්නැ” යි කී සේක.
5සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.
6එහෙත් ඔවුන් එසේ කළ විට, මසුන් මහත් රාශියක් හසුවූයෙන්, ඔවුන්ගේ දැල් ඉරෙන්නට වන්නේ ය. 7එබැවින් ඔවුහු, උදව්වට එන ලෙස, අනෙක් ඔරුවේ තම හවුල්කරුවනට සංඥා කළහ. ඔවුන් ද අවුත්, මසුන් කොතෙක් පටවා ගත්තේ ද යත්, ඔරු දෙකම පිරී, ගිලෙන්නට වන්නේ ය.
8සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත්ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය. 9මන්ද හසු වූ මසුන් තොගය නිසා, ඔහු ද ඔහු සමඟ සිටියවුන් ද අන්ද මන්ද වූ බැවිනි. 10සීමොන්ගේ හවුල්කරුවන් වූ යාකොබ් හා යොහන් යන සෙබදීගේ පුත්‍රයෝ ද විස්මපත් වූහ.
එවිට සීමොන් ඇමතූ යේසුස්වහන්සේ, “බය වන්න එපා; මෙතැන් පටන් ඔබ මිනිසුන් අල්ලනු ඇතැ” යි පැවසූ සේක. 11තමන්ගේ ඔරු ගොඩට ඇද දැමූ ඔවුහු, සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියහ.
කුෂ්ඨ රෝගියා
12උන්වහන්සේ එක් නගරයක සිටියදී ගත පුරා කුෂ්ඨ රෝගියෙක් අවුත්, යේසුස්වහන්සේ දැක, වැටී මුහුණ බිම ඔබා, උන්වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමිනි, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.
13යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. කුෂ්ඨය විගස ඔහුගෙන් පහව ගියේ ය.
14කිසිවකුට මේ ගැන නො කියන ලෙස ඔහුට අණ කළ යේසුස්වහන්සේ, “එනමුත් පූජකවරයා ඉදිරියේ පෙනී සිට ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබගේ පවිත්‍ර වීම ගැන මෝසෙස් නියම කළ පඬුරු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
15එහෙත් උන්වහන්සේ පිළිබඳ පුවත වඩ වඩා පතළ වූයෙන්, උන්වහන්සේගෙන් අසන්නට හා තම රෝග සුව කර ගැනීමට අති මහත් පිරිස් රොක් වූහ. 16එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක.
අංසබාග රෝගියා හා පාප කමාව
17දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය. 18එවිට මෙන්න, සයනයක හොවා අංසබාග රෝගියකු ගෙනා කිහිප දෙනෙක්, උන්වහන්සේ ඉදිරියේ ඔහු තබනු පිණිස ගෙතුළට යෑමට උත්සාහ කළහ. 19එහෙත් ජනකාය නිසා ඇතුළට යෑමේ මගක් නො වූයෙන්, ඔවුහු වහලට නැගී, සෙවිලි තුළින් පිරිස මැද යේසුස්වහන්සේ ඉදිරියට සයනයත් සමඟින් ඔහු බැස්සූහ.
20එවිට ඔවුන්ගේ ඇදහිල්ල දුටු යේසුස්වහන්සේ, “මිත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි පැවසූ සේක.
21එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.
22යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “ඔබේ හදවත් තුළ ප්‍රශ්න කරන්නේ කිම ද? 23කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද? 24එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, අංසබාග රෝගියා අමතා, “මා ඔබට කියන්නේ, නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන්න, කියා යැ” යි පැවසූ සේක. 25ඔවුන් ඉදිරිපිට එකෙණෙහිම නැගී සිටි ඔහු, තමන් වැතිර සිටි යහන ද රැගෙන, නිවෙස බලා ගියේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමිනි. 26සියල්ලෝ විස්මයෙන් ඇලළී, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වී දේව භයින් ද වෙළී, “අද අප පුදුමාකාර දේ දැක්කා” යි කීහ.
ලෙවී කැඳවීම
27ඉන්පසු යේසුස්වහන්සේ පිටතට යන කල, ලෙවී නම් වූ බදු අය කරන්නෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි කී සේක. 28ඔහු සියල්ල අත්හැර, නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
29පසුව, ලෙවී තම නිවසේ උන්වහන්සේට මහත් භෝජන සංග්‍රහයක් පිළියෙල කළේ ය; බදු අය කරන්නන් ගණනාවක් හා වෙනත් අය කෑමට හිඳ සිටියහ. 30එවිට පරිසිවරු හා ඔවුන්ගේ දහම් පඬිවරු උන්වහන්සේගේ ගෝලයිනට අවලාද නගමින්, “බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ නුඹලා කන්නේ, බොන්නේ මන්දැ?” යි ඇසූහ.
31යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. 32මා ආවේ, පව්කරුවන් පසුතැවිල්ලට කැඳවීමට මිස, ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ යැ” යි පැවසූ සේක.
උපවාසය ගැන ගැටළුව
33ඔවුහු උන්වහන්සේ අමතමින්, “යොහන්ගේ ගෝලයින් නිතර උපවාසයෙන් යාච්ඤා කරනවා, පරිසිවරුන්ගේ ගෝලයින් ද එහෙම කරනවා. එහෙත් ඔබේ ගෝලයින් කනවා, බොනවා” යි කීහ.
34යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද? 35මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගන්නා දවස් පැමිණෙයි; ඒ දවස්හිදී ඔවුන් නිරාහාරව සිටිනු ඇතැ” යි පැවසූ සේක.
36උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “කිසිවකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා, පරණ ඇඳුමකට අණ්ඩ දමන්නේ නැත. එසේ කළොත්, අලුත් ඇඳුම ඉරා දැමෙනවාත් හැර, අලුත් කැබැල්ල පරණ එකට ගැලපෙන්නේ ද නැත. 37කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද විනාශ වෙයි. 38අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි. 39පැරණි මිදි යුෂ පානය කළ කිසිවකු අලුත් ඒවාට රුචි නො වේ. ‘පැරණි ඒවා හොඳා යැ’ යි ඔහු කියතැ” යි පැවසූ සේක.
Ekhethiweyo ngoku:
ලූක් 5: SCV
Qaqambisa
Yabelana
Kopa

Ufuna ukuba iimbalasane zakho zigcinwe kuzo zonke izixhobo zakho? Bhalisela okanye ngena
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.