ශු. යොහන් 3

3
නිකොදේමුස් සමඟ කථාව
1යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය. 2හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. 3යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. 4නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. 5යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. 6මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. 7නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. 8හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක. 9නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය. 10යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද? 11සැබවක් සැබවක් නුඹට කියමි–අපි දන්නා දේ කියමුව, දුටු දේට සාක්ෂිදෙමුව; නුමුත් නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත. 12මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද? 13ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. 14මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද 15උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍
16මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. 17මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. 18උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි. 19විනිශ්චය නම් මේය–ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. 20නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති. 21නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.‍
යොහන් බව්තීස්ත තවත් සාක්ෂිදීම
22ඉන්පසු යේසුස්වහන්සේද උන්වහන්සේගේ ගෝලයෝද යූදා දේශයට පැමිණියෝය; එහිදී උන්වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට, බව්තීස්මකළසේක. 23යොහන්ද සාලිම් ළඟවූ ඒනොන් යන ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු බැවින් එහි බව්තීස්මකරමින් සිටියේය. මනුෂ්‍යයෝ ඇවිත් බව්තීස්ම කරනු ලැබුවෝය. 24මක්නිසාද යොහන් ඒ වන තුරුම හිරගෙයි දමනු නොලැබුවේය. 25එකල යොහන්ගේ ගෝලයන් හා යුදෙව්වෙකු අතරේ පවිත්‍රවීම ගැන වාදයක් හටගත්තේය. 26එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරනසේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය. 27යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය: මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙනලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය. 28මම ක්‍රිස්තුස් නොවෙමි, නුමුත් උන්වහන්සේට පළමුවෙන් එවනලද්දෙමියි මා කී බවට නුඹලාම සාක්ෂිකාරයෝය. 29මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ. 30උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය.
31ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. 32උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂිදෙනසේක; එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. 33උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ. 34මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක. 35පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තිබේ.‍ 36පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

ශු. යොහන් 3: SROV

Ìsàmì-sí

Pín

Daako

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀

Àwọn fídíò fún ශු. යොහන් 3