ක්‍රියා 21

21
පාවුලු ජෙරුසලම බලා යයි
1අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු. 2එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු. 3සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය. 4අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. 5එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර, 6එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ.
7අපි තීර් සිට පිටත් ව ගොස් අපේ මුහුදු ගමන නිම කොට, තොලිමයිසයට පැමිණියෙමු. එහි දී සහෝදරයන්ට ආචාර කොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමු. 8#ක්‍රියා 6:5; 8:5පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු. 9දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය. 10#ක්‍රියා 11:28 බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය. 11ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.
12අප මේ දේ ඇසූ කල, ඒ ස්ථානයේ සිටි අය ද අපි ද ජෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක් ම ඉල්ලීමු. 13එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය. 14ඔහු කැමැති කරවාගන්නට නොහැකි වූයෙන්, “සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ වා!”යි කියමින් අපි නිහඬ වීමු.
15ටික දවසකට පසු අපි බඩුබාහිරාදිය රැගෙන ජෙරුසලම බලා ගියෙමු. 16කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ.
පාවුලු ජාකොබ් හමු වීම
17අප ජෙරුසලමට පැමිණි කල සහෝදරයෝ ප්‍රීතියෙන් අප පිළිගත්හ. 18පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ. 19ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය. 20ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති. 21තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපෙදස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ. 22දැන් ඉතින් කළ යුතු දේ කුමක් ද? ඔබ මෙහි ඇවිත් සිටින බව ඔවුන් නිසැකව ම දැනගනු ඇත. 23#ගණන් 6:13-21 එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති. 24ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත. 25#ක්‍රියා 15:29 එහෙත් ඇදහිල්ල පිළිගත් විජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදන ලද දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද වේශ්‍යාකමින් ද වැළකී සිටින ලෙස අපි ම තීරණය කර ඔවුන්ට ලියා හැරියෙමු”යි කී හ. 26පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.
දේව මාලිගාවේ දී පාවුලු අත්අඩංගුවට ගනු ලැබීම
27ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන, 28“ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ. 29#ක්‍රියා 20:4ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි. 30එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී. 31ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී. 32ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ. 33එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය. 34එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය. 35පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය. 36මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ.
පාවුලුගේ පිළිතුර
37පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද? 38එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය. 39එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය. 40ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,

Sorotan

Berbagi

Salin

None

Ingin menyimpan sorotan di semua perangkat Anda? Daftar atau masuk

Video untuk ක්‍රියා 21