YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 10

10
දොළොස් දෙනාගේ ධර්මදූත මෙහෙය
(මාක් 3:13-19; ලූක් 6:12-16)
1ජේසුස් වහන්සේ සිය අපෝස්තුළුවරුන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.
2අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය; 3පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය; 4අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.
ධර්මදූත සේවාව
(මාක් 6:7-13; ලූක් 9:1-6)
5ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න; 6ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. 7#ලූක් 10:4-12එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න. 8රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න. 9ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. 10#1 කොරි 9:14; 1 තිමෝ 5:18ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය. 11ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න. 12ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. 13ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා. 14#ක්‍රියා 13:51කවරෙකු වුව ද ඔබ පිළිගන්නේ වත්, ඔබගේ වචන අසන්නේ වත් නැත් නම්, ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසාදමන්න. 15#උත් 19:24-28; මතෙ 11:24සැබැවින් ම මම ඔබට කියමි: දේව විනිශ්චය දවසේ දී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට සහනය ලැබෙන්නේ ය.”
ඇති විය හැකි පීඩා
(මාක් 13:9-13; ලූක් 21:12-17)
16 # ලූක් 10:3 “සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. 17#මාක් 13:9-11; ලූක් 12:11-12; 21:12-15ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත. 18ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. 19එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ. 20කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.
21 # මාක් 13:12; ලූක් 21:16 “තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය. 22#මතෙ 24:9,13; මාක් 13:13; ලූක් 21:17මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය. 23ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.
24 # ලූක් 6:40; ජොහ 13:16; 15:20 “ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ. 25#මතෙ 9:34; 12:24; මාක් 3:22; ලූක් 11:15ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”
බිය විය යුතු කවරෙකුට ද?
(ලූක් 12:2-7)
26 # මාක් 4:22; ලූක් 8:17 “එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ. 27මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න. 28ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න. 29ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය. 30ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. 31එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය.
ක්‍රිස්තුන් වහන්සේ පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම
(ලූක් 12:8-9)
32යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. 33#2 තිමෝ 2:12එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”
සාමය නොව කඩුව
(ලූක් 12:51-53; 14:26-27)
34“මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි. 35#මීකා 7:6මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි. 36මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය. 37මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. 38#මතෙ 16:24; මාක් 8:34; ලූක් 9:23සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ. 39#මතෙ 16:25; මාක් 8:35; ලූක් 9:24; 17:33; ජොහ 12:25සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”
ආගන්තුක සත්කාරයේ විපාක
(මාක් 9:41)
40 # මාක් 9:37; ලූක් 9:48; 10:16; ජොහ 13:20 “ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. 41දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි. 42මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in