YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 9

9
අංසබාග රෝගියෙකු සුව කිරීම
(මාක් 2:1-12; ලූක් 5:17-26)
1ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක. 2එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක. 3එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ. 4ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද? 5වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද? 6එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක. 7එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය. 8සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
මතෙව් කැඳවීම
(මාක් 2:13-17; ලූක් 5:27-32)
9ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
10 # ලූක් 15:1-2 තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. 11පරිසිවරු ඒ දැක, “ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. 12උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. 13#මතෙ 12:7; හොසි 6:6‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.
උපවාස ප්‍රශ්නය
(මාක් 2:18-22; ලූක් 5:33-39)
14එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ. 15ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.
16“තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ. 17නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”
ධර්මශාලා ප්‍රධානියාගේ දුව හා සළුවට අත ගැසූ ස්ත්‍රිය
(මාක් 5:21-43; ලූක් 8:40-56)
18උන් වහන්සේ මේ කරුණු කියමින් සිටිය දී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන් වහන්සේ නැමඳ, “මාගේ දුව මේ දැන් මළා ය. එහෙත්, ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව; එවිට ඈ ජීවත් වනු ඇතැ”යි කී ය. 19ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ.
20එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය. 21එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. 22ජේසුස් වහන්සේ හැරී ඈ දැක, “දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය.
23ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී, 24නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. 25එහෙත්, සමූහයා පිට කරනු ලැබූ පසු උන් වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලූසේක. 26දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.
අන්ධයින් දෙදෙනෙකුට සුවය
27ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ. 28උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ. 29එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, “ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. 30ඔවුන්ගේ ඇස් පෑදිණි. “කිසිවෙකුට මෙපවත් නොකියන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක. 31එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.
ගොළුවෙකුට සුවය
32ඔවුන් පිටත් ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. 33දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිත ව, “මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණි”යි කී හ. 34#මතෙ 10:25; 12:24; මාක් 3:22; ලූක් 11:15එහෙත් පරිසිවරු කතා කරමින්, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ.
මහා කාරුණිකයාණෝ
35 # මතෙ 4:23; මාක් 1:39; ලූක් 4:44 ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.
36 # ගණන් 27:17; 1 රාජා 22:17; 2 වංශා 18:16; එසකි 34:5; මාක් 6:34 ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක. 37#ලූක් 10:2එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. 38එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in