උපදේශකයා හෙවත් සිරාක් 46
46
ජෝෂුවා
1නූන්ගේ පුත් ජෝෂුවා රණශූරයෙකි.
දිවැසිවර තනතුරෙහි මෝසෙස්ගේ පදවියට පත් වූ තැනැත්තා විය.
ඔහුට මේ නාමය සැබැවින් ම යෝග්‍ය විය.
ඔහු තෝරාගත් ජනයාගේ මහා ගැළවුම්කාරයා විය.
ඔහු කැරලිකාර සතුරන්ට දැඩි ලෙස දඬුවම් කෙළේ ය.
ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ උරුමයෙහි පදිංචි කෙළේ ය.
2නුවරවලට විරුද්ධ ව අත ඔසවා කඩුව ලෙළවූ විට ඔහු කොපමණ වික්‍රමාන්විත වූයේ ද?
3ඔහුට පෙර ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය ඇති වූයේ කවරෙකුට ද?
සමිඳුන්ගේ සටන් ඔහු විසින් ම හසුරුවන ලද්දේ ය.
4ඔහුගේ අණ පිට හිරුගේ ගමන පමා කොට එක දවසක් දෙදවසක් කරන ලද්දේ නොවේ ද?
5ඔහු මහෝත්තම දෙවියන් වහන්සේ වූ බලවත් තැනැන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
සතුරන් හැම පැත්තෙන් ම නෙරපා දැමුවේ ය.
මහානුභාව සම්පන්න සමිඳාණෝ ඔහුට සවන් දුන් සේක.
නොඇසූවිරූ වේගයකින් ගල් වැස්ස හෙළූ සේක.
6ඔහු සතුරු ජාතීන් පිට හදිසියෙන් පැන ඔවුන් අල්ලාගත්තේ ය.
කඳු බෑවුමේ දී කලහකාරීන් සහමුලින් ම විනාශ කෙළේ ය.
ඔහු මෙසේ කෙළේ ජාතීන් ඔහුගේ රණශූරභාවයත්, ඔහු දෙවි සමිඳුන් අබියස සිටිමින් සටන් කරන බවත් දැනගන්නා පිණිස ය.
කාලෙබ්
7ඔහු මහෝත්තමයාණන් වහන්සේට ඇලුම් ව සිටි බැවින් මෝසෙස්ගේ කාලයෙහි දී ඔහු තම සේවාව හිතවත්කමින් ඉටු කෙළේ ය.
ඔහු ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද මහජනයාට විරුද්ධ ව සිට මැසිවිලි නිහඬ කරවමින් සෙනඟ පව් කිරීමෙන් වැළැක්වූ හ.
8ගමන් කළ මිනිසුන් සය ලක්ෂයෙන් මොවුන් දෙදෙනා පමණක් ඉතුරු කරන ලදුව, කිරි හා පැණි ගලා යන දේශයෙහි ඔවුන්ගේ උරුමයට ගෙනෙන ලද්දෝ ය.
9සමිඳාණෝ කාලෙබ්ට මහත් ශක්තියක් දුන් සේක. එය ඔහුගේ මහලු විය දක්වා ඔහු කෙරෙහි රඳා පැවතියේ ය.
උන් වහන්සේ දේශයේ කඳුකරයෙහි නඟින්නට ඔහුට සැලැසූ සේක.
ඔහුගෙන් පැවත එන්නෝ එය තමන්ගේ උරුමය මෙන් ආරක්ෂා කරගත්තෝ ය.
10මෙසේ, සමිඳුන්ගේ ආඥාව අනුව යාම යහපත් බව සියලු ඉශ්රායෙල් ජනයා දකිනු ඇත.
වීර පුරුෂයෝ
11සියලු වීර පුරුෂයෝ තම තමන්ගේ කැඳවීම අනුව ශුද්ධවන්ත හෘදයක් ඇති මනුෂ්‍යයෝ වූවෝ ය.
ඔව්හු සමිඳුන්ගෙන් ඉවතට නොහැරුණෝ ය. ඔවුන් සැමරීම පූජිත වේ වා!
12ඔවුන්ගේ ඇටකටු මිනීවළෙහි නැවත ප්‍රාණවත් වේ වා!
ඔවුන්ගේ නම මේ කීර්තිමත් මනුෂ්‍යයන්ගේ පුත්‍රයන් තුළ යළි ජීවත් වේ වා!
සාමුවෙල්
13සාමුවෙල් සමිඳුන්ගේ ප්‍රේමවන්තයා විය.
සමිඳුන්ගේ දිවැසිවරයා වූ ඔහු රාජ්‍ය පිහිටෙව්වේ ය.
තම සෙනඟ කෙරෙහි පත් කරන ලද අධිපතීන් ආලේප කෙළේ ය.
14සමිඳුන්ගේ නීතිය අනුව ඔහු සභාව විනිශ්චය කෙළේ ය.
සමිඳාණෝ ජාකොබ් රැක බලාගත් සේක.
15විශ්වාසවන්තකම නිසා ඔහු දිවැසිවරයෙකු මෙන් පිළිගන්නා ලද්දේ ය.
තමා විශ්වාස කළ හැකි දිවැසිවරයෙකු බව තමා කී දේවලින් ප්‍රකාශ කෙළේ ය.
16ඔහු සිය සතුරන් සැම අතින් නෙරපූ විට, කිරි බැටළු පැටවෙකු ඔප්පු කරමින් ඔහු සවි බලැති සමිඳුන්ට යාච්ඤා කෙළේ ය.
17එවිට සමිඳාණෝ අහසින් හෙණ හඬ නැඟුව සේක.
මහත් ඝෝෂාවකින් තම හඬ ඇසෙන්නට සැලැසූ සේක.
18උන් වහන්සේ සතුරාගේ අධිපතීන් සහමුලින් ම විනාශ කළ සේක.
පිලිස්තිවරුන්ගේ පාලකයන් වනසාදැමූ සේක.
19ඔහු සදා සැනසීමට යන මොහොතකට පෙර සමිඳුන් හා උන් වහන්සේගේ ආලේපය ලත් තැනැත්තා ඉදිරියෙහි මෙසේ සාක්ෂි දැරුවේ ය;
“කිසිවෙකුගෙන් ඔහුගේ ධනය වත් මිරිවැඩි සඟලක් පමණ වත් මම පැහැර නොගත්තෙමි.”
එසේ ම, කිසිවෙක් ඔහුට විරුද්ධ චෝදනාවක් නොකළෝ ය.
20ඔහු මියගිය පසුවත් නැවත දෙවියන් වහන්සේගේ නාමයෙන් කතා කෙළේ ය.
රජුට ඔහුගේ මරණය කලින් දැන්වූයේ ය. පොළෝ ගැබෙන් තම හඬ නඟා දිවැස් කීවේ ය.
එසේ කෙළේ සෙනඟගේ දුෂ්ටකම පහ කරන පිණිස ය.
Currently Selected:
උපදේශකයා හෙවත් සිරාක් 46: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in