උපදේශකයා හෙවත් සිරාක් 45
45
මෝසෙස්
1උන් වහන්සේ ඔහු ත්‍යාගශීලී මිනිසෙකු වන්නට සැලැසූ සේක.
ඔහු සකල මිනිස් සංහතියේ ප්‍රසාදය දිනාගත්තේ ය.
සාදරයෙන් සමරනු ලබමින්, දෙවිඳුන් හා මිනිසුන්ගේ ප්‍රේමයට පාත්‍ර විය.
2උන් වහන්සේ ඔහු මහිමයෙන් ශුද්ධවන්තයන්ට සමාන කළ සේක.
සතුරන් බිය ගන්වන පිණිස ඔහු බලසම්පන්න කළ සේක.
3උන් වහන්සේ මෝසෙස්ගේ වචන නිසා අරුමපුදුම දේ පැවැත්වූ සේක.
රජවරුන් ඉදිරියෙහි ඔහු ගෞරවයට පත් කළ සේක.
තම සෙනඟ උදෙසා ඔහුට පනත් දුන් සේක.
තම මහිමයෙන් ස්වල්පයක් දකින්නට ඔහුට සැලැසූ සේක.
4ඔහුගේ විශ්වාසකම හා කරුණා ගුණය නිසා ඔහු ශුද්ධවන්ත කළ සේක.
සියලු මනුෂ්‍යයන් අතරෙන් ඔහු පමණක් තෝරාගත් සේක.
5තම හඬ අසන්නට ඔහුට සලසා වලාකුළු තුළට ඔහු පැමිණවූ සේක.
උන් වහන්සේ ඔහු සමඟ, මුහුණට මුහුණ ලා සිට, ආඥා ද ජීවන නීතියක් හා අවබෝධය ද ජාකොබ්ට උගන්වන පිණිස තම පනත් ද ඉශ්රායෙල්ට තම නියෝගයන් ද දුන් සේක.
ආරොන්
6උන් වහන්සේ ලෙවී ගෝත්‍රයේ තම සහෝදරයා වූ මෝසෙස්ට සමාන ව ආරොන් නම් වූ ධාර්මික මනුෂ්‍යයා එවූ සේක.
7උන් වහන්සේ ඔහු සමඟ සදාකාලික ගිවිසුමක් කර, සෙනඟගේ පූජක පදවිය ඔහුට දුන් සේක.
ඔහු අලංකාර වස්ත්‍රවලින් සමෘද්ධ කර මහිමාන්විත සළුවක් ඔහුට පැළඳවූ සේක.
8ඔහු උත්කෘෂ්ට මහිමතාවෙන් සරසා සරුවාලය, දිගු කබාය, ඒපොද් සැට්ටය සහ පාලන බලයේ සංකේතවලින් ඔහු සැරසූ සේක.
9ඔහුගේ දිග කබාය වටේ එල්ලීමට දෙළුම් ගෙඩි සහ කුඩා රන් සීනු දුන් සේක.
ඔහුගේ එක එක පියවරෙහි දී ඒවායින් දේව මාලිගය තුළ කිංකිණි නාදය ඇසුණේ ය.
එය ඔහුගේ ජනතාවට සිහි කිරීමක් විය.
10උන් වහන්සේ ඔහුට රන්මය රත් නිල් ශුද්ධ වස්ත්‍රයක් ද දුන් සේක.
එය විසිතුරු ගෙත්තමෙන් කෙරුණු කෘතියක් විය.
ඉන්පසු ඔහු පිට විනිශ්චයේ ළය වැස්ම දමා ඌරිම් සහ තුම්මීම් තැබූ සේක.
එය තද රත් නිල් නූලෙන් කළ කෘතියකි.
11මුද්‍රා වශයෙන් කැටයම් කරන ලද මැණික් ගල් එහි විය.
රනින් බඳින ලද ඒවා රන්කරුවෙකුගේ කෘතියක් විය.
ඉශ්රායෙල් ගෝත්‍රයන් ඔවුන්ගේ ගණන අනුව සිහි කරන පිණිස කැටයම් කරන ලද සන්නසක් එහි විය.
12ඔහුගේ හිස් වෙළුම් මත රන් කිරීටයක් ද විය.
එහි කැපවීමේ ලේඛනය කැටයම් කර තිබුණේ ය.
මේ කිරීටය අනර්ඝ ආභරණයකි;
අතිවිශිෂ්ට කෘතියකි.
මේ ආභරණය ඇසට ආනන්දජනක ය.
13ඒවා ඔහුට පෙර කිසිවෙකු නුදුටු දේවල් ය.
එබඳු දේවල් පැළඳගත් කිසිවෙක් ඉන් පෙර නොසිටියේ ය.
එහෙත්, ඔහුගේ පුත්‍රයෝ පමණක් ද ඔහුගෙන් පැවත එන්නෝ පමණක් ද සදහට ම ඒවා පළඳින්නෝ ය.
14ඔහුගේ පූජා සම්පූර්ණයෙන් දවන යාග විය.
ඒවා නිරන්තරයෙන් ම දවසකට දෙවරක් බැගින් ඔප්පු කරන ලද්දේ ය.
15මෝසෙස් ඔහු අභිෂේක කෙළේ ය.
ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළේ ය.
මෙය ඔහුට සදා ගිවිසුමක් විය.
අහස පවතින තාක් ඔහුගෙන් පැවත එන්නන් හට එසේ විය.
ඔහු වන්දනා මෙහෙයෙහි දී ප්‍රථම ස්ථානය ගෙන පූජක පදවියේ කාර්යයන් ඉටු කරන්නේ ය.
සමිඳුන්ගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නේ ය.
16උන් වහන්සේ සියලු මනුෂ්‍යයන් අතරෙන් ඔහු තෝරාගත් සේක.
සමිඳුන්ට යාග ඔප්පු කරන පිණිස ද, තුවරලා සහ සුවඳ දුම් සිහිවීමක් සඳහා ඔප්පු කරන පිණිස ද ඔහු තෝරාගත් සේක.
17උන් වහන්සේ ඔහුට තම පනත් භාර දුන් සේක.
නීතියේ නියමයන් ඔහුගේ ආරක්ෂාවට පැවරූ සේක.
එසේ කෙළේ ජාකොබ්ට තම නියමයන් උගන්වන පිණිස ය;
ඉශ්රායෙල්වරුන්ට තම නීතිය ගැන ඥානය ලබාදෙන පිණිස ය.
18අන් අය ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ හ.
පාළුකරයෙහි දී ඔව්හු ඔහු හට ද්වේෂ කළ හ.
දාතන්ගේ කණ්ඩායම ද අබිරාම්ගේ කණ්ඩායම ද කෝර්ගේ සමූහය ද ඔහුට වෛර කර බලහත්කාරකම් කළෝ ය.
19සමිඳාණෝ එය දැක උදහස් වූ සේක.
උන් වහන්සේගේ කෝපය ඇවිළී ඔව්හු සහමුලින් ම විනාශ කරන ලද්දෝ ය.
ඔවුන්ට පෙනෙන්නට සමිඳාණෝ පුදුම දේවල් කළ සේක.
උන් වහන්සේ සිය ඇවිලෙන ගින්නෙහි ඔවුන් දවා හැරිය සේක.
20උන් වහන්සේ ආරොන්ගේ මහිමය තවත් වර්ධනය කළ සේක.
ඔහුට ප්රවේණියක් දුන් සේක.
ඔහුට නාඹුල් ඵල වෙන් කොට දුන් සේක.
සියල්ලට පෙර ඔහුට බහුල ව ආහාර ලැබෙන්නට සැලැසූ සේක.
21තවද, ඔව්හු සමිඳුන්ට පුදන ලද යාග වළඳන්නෝ ය.
උන් වහන්සේ මෙය ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් ලැබෙන්නට සැලැසූ සේක.
22එහෙත්, දේශයෙන් ඔහුට උරුමයක් නොතිබුණේ ය.
සෙනඟ අතර ඔහුට කොටසක් නොතිබුණේ ය.
සමිඳාණෝ ඔහුගේ උරුම කොටස වූ සේක.
පිනේහාස්
23එලෙයාසර්ගේ පුත්‍ර පිනේහාස් මහිමයෙන් තුන්වැන්නා විය.
සමිඳුන් වෙත ඔහුගේ ගරුබිය දැක්වීමේ උද්යෝගය නිසා සෙනඟ කැරලි ගැසූ විට උදාර ධෛර්යයෙන් ස්ථිර ව සිටීමෙන් ඔහු ඉශ්රායෙල්වරුන්ට සමාව ලබා දුන්නේ ය.
24ඔහු සමඟ සාමදානයේ ගිවිසුමක් ද ස්ථිර කරන ලද්දේ ය.
එයින්, ඔහු ශුද්ධස්ථානයේ ද සෙනඟගේ ද ප්‍රධානියා වූයේ ය.
ඔහුට ද ඔහුගේ පරම්පරාවට ද නායක පූජක පදවිය සදහට ම හිමි වූයේ ය.
25ජුදාගේ ගෝත්‍රයේ ජෙස්සේගේ පුත් දාවිත් සමඟ ද ගිවිසුමක් වූයේ ය.
මේ ගිවිසුම අනුව රාජ බලය පියාගෙන් පුත්‍රයාට පමණක් හිමි වූයේ ය.
එහෙත්, ආරොන්ගේ බලය ඔහුගේ මුළු පරම්පරාවට හිමි වූයේ ය.
26උන් වහන්සේගේ සෙනඟ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන පිණිස දෙවියන් වහන්සේ ඔබේ හෘදය ප්‍රඥාවෙන් පුරවන සේක් වා!
එවිට මුතුන්මිත්තන්ගේ ගුණ දහම් නොනැසී පවතින්නේ ය.
ඔවුන්ගේ මහිමය ඔවුන්ගෙන් පැවත එන සියල්ලන් කෙරෙහි පැතිර යන්නේ ය.
Currently Selected:
උපදේශකයා හෙවත් සිරාක් 45: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in