YouVersion Logo
Search Icon

යෙසායා 2

2
සදාකාලික සාමය
1ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:
2මතු කාලයේ දී සමිඳුන්ගේ
දෙව් මැදුර පිහිටා ඇති කන්ද,
උතුම් ලෙස ද සියලු කඳුවලට
ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය.
සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.
3බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත:
‘එන්න, අපි යමු;
සමිඳුන්ගේ කන්දට නඟිමු;
ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු;
එතුමාණන් පෙන්වන මාර්ගය ගැන
ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’
මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ
සියොන් කන්දෙන් ය;
එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.
4 # ජෝවෙ 3:10 මහා ජාතීන් අතර භේද
එතුමාණෝ නිරවුල් කරන සේක;
එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක.
තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද
ඔව්හු සාදාගන්නෝ ය.
ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත.
ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
5අහෝ!
ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.
සමිඳාණන් වහන්සේගේ ආගමන දවස
6සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ
වංශය වන තමන් සෙනඟ අත්හළ සේක.
මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත.
සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.
7ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත.
වස්තුවට නිමක් නැත.
ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන්
පිරී ඇත.
ඒ රථවාහනවල නිමක් නැත.
8ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත.
ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.
9මේ නිසා සියලුදෙනා නින්දාවටත්,
ලජ්ජාවටත් පත් වනු ඇත.
සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව.
10 # එළිද 6:15; 2 තෙස 1:9 සමිඳුන් උදහසින් ද
එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස
ඔව්හු ගල්ගුහාවල, නැතහොත්,
බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
11මිනිසාගේ අහංකාරය බිඳී යන,
අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය.
ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.
12ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ
බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ,
හැම කෙනෙකු ම පහත් කරන සේක;
13ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස්
සියල්ල ද විනාශ කරන සේක;
බාෂාන්හි ඇති ආලෝන ගස් ද
14-15උස් කඳු හෙල් සියල්ල ද
උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක;
16තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව
සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක.
17ඒ දවස පැමිණි විට මිනිසාගේ
අහංකාරය බිඳී යන්නේ ය;
අභිමානය සිඳී යන්නේ ය;
සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.
18සියලු පිළිම සහමුලින් ම
පහකරනු ලබන්නේ ය.
19සමිඳුන් පොළොව කම්පා කරවීමට
පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද
එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද
පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල,
නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
20ඒ දවස පැමිණි විට, රන් රිදීවලින්
සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති.
21සමිඳුන් පොළොව කම්පා කරවීමට
පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද
එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද
බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල්
සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.
22හුස්ම ටික පමණක් වන
මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න.
ඔහුගේ වටිනාකම කුමක් ද?

Currently Selected:

යෙසායා 2: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for යෙසායා 2