YouVersion Logo
Search Icon

හිතෝපදේශ 4

4
ප්‍රඥාවේ ඵල
1මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න;
නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.
2මන්ද, මම මනා උවදෙස් ඔබට දෙමි;
මාගේ ඔවා බස් ඉවත නොදමන්න.
3මම මාගේ පියාගේ ද මවගේ ද ළදබොළඳ ප්‍රියාදර එක ම පුත් රුවන වූයෙමි.
4මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය:
“මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න;
මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න.
5ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න;
එය අමතක නොකරන්න;
මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න.
6ප්‍රඥා සම්පත ඉවත නොදමන්න;
එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත.
ඇයට සෙනෙහස දක්වන්න;
ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.
7ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය;
ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.
8ඇයට ගරු සම්මාන පිරිනමන්න, එවිට ඈ ඔබ උසස් කරනු ඇත.
ඇය සෙනෙහසින් වැළඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවනු ඇත.
9ඈ ඔබේ සිරසෙහි දිමුතු මල් මාලාවක් තබනු ඇත;
තේජස් කිරුළක් පළඳවනු ඇත.”
10මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න.
එවිට ඔබ දිගායු වළඳනු ඇත.
11ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වමි;
හරි මාවත්වල මම ඔබ ගෙන යමි.
12එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත;
ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.
13මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න.
ඒවා ඔබට ජීවන සම්පත වේ.
14අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න;
දුදනන්ගේ පාරෙහි නොයන්න.
15නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න;
එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.
16නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත;
යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.
17කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.
18එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
19දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත;
තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති.
20මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න.
21ඒවා ඔබේ සිතින් පහ නොවේ වා;
ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න.
22ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ.
23අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න;
මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.
24රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න.
කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.
25දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න;
දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.
26 # හෙබ්‍රෙ 12:13 ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න;
එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.
27හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න;
ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 4