YouVersion Logo
Search Icon

හිතෝපදේශ 5

5
පරදාර සේවනය ගැන අවවාද
1මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න;
මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.
2එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත.
ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත.
3වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි;
ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;
4එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත;
දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත.
5ඇගේ දෙපා මරණය බලා යයි;
ඇගේ පියවර පාතාල ලෝකයට යයි;
6ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි;
ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.
7එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න;
මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න.
8එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න;
ඇගේ දොරකඩට වත් නොයන්න.
9එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත.
ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත.
10ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත.
ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.
11අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත.
12එවිට ඔබ මෙසේ කියනු ඇත:
අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි!
මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!
13මම ධර්ම දේශකයන්ගේ බසට කීකරු නොවූයෙමි, ගුරු ඇදුරන්ගේ අවවාදයට කන් නුදුන්නෙමි.
14හැම නපුරෙහි යෙදී නරක නමක් ලද්දෙමි, ප්‍රසිද්ධියේ ම මහ නින්දාවට පත් වුණෙමි.”
15ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.
16ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත.
17ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා!
18ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා!
ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.
19සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න.
ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.
20මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද?
සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?
21මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත.
ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.
22දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි;
ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.
23ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි;
ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 5