YouVersion Logo
Search Icon

හිතෝපදේශ 23

23
1නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
2නුඹ ගිජු කෙනෙක් නම්, නුඹේ උගුරට පිහියක් තබාගන්න.
3ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.
4පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න;
ඒ අදහස අත්අරින්න.
5නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද?
වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
6අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
7මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය.
කන්න බොන්නැයි ඔහු නුඹට කියයි;
නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.
8නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
9අඥානයා ඉදිරියේ කථා නොකරන්න;
මක්නිසාද ඔහු නුඹේ වචනවල සාරකම සුළුකරන්නේය.
10පුරාණ මායිම වෙනස් නොකරන්න;
පියා නැත්තන්ගේ බිම්වලට ඇතුල්නොවන්න.
11මක්නිසාද ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ය;
උන්වහන්සේ නුඹට විරුද්ධව ඔවුන්ගේ විත්තිය කියනවා ඇත.
12නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න.
13දරුවාගෙන් දඬුවම නොවලක්වන්න;
ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
14ඉපලෙන් ඔහුට තළන්න;
එයින් නුඹ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.
15මාගේ පුත්‍රය, නුඹේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.
16එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.
17නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.
18මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ;
නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.
19මාගේ පුත්‍රය, අසා ප්‍රඥාවන්ත වී, නුඹේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න.
20මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න.
21මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය;
නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.
22නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න;
නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.
23සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.
24ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය;
බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය.
25නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.
26මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
27මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය;
අන් ස්ත්‍රියද පටු වළක්ය.
28එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.
29දුක ඇත්තේ කාටද?
කාලකණ්ණිකම කාටද?
තරඟ කාටද?
මැසිවිලි කාටද?
නිෂ්කාරණා තුවාළ කාටද?
රතු ඇස් ඇත්තේ කාටද?
30මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය;
මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය.
31මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.
32අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි.
33නුඹේ ඇසටඅද්භූත#23:33 නොහොත්, අන්‍ය ස්ත්‍රීන්. ‍ දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය.
34නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.
35ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත;
ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත;
මට කොයි වේලේ ඇහැ ඇරේද?
නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy