YouVersion Logo
Search Icon

හිතෝපදේශ 24

24
1දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
2මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.
3ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
4දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.
5ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය;
එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.
6මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය;
මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.
7ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය;
දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.
8නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
9මෝඩයාගේ යෝජනාව පාපයය;
නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය.
10නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.
11මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
12අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද?
නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?
13මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
14නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න;
එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
15දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න;
ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.
16මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය;
නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.
17නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න;
ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා.
18නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
19නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න;
දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.
20මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය;
දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
21මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න;
වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.
22මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි;
ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?
23මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය.
විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
24නුඹ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.
25එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.
26සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
27නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න;
පසුව නුඹේ ගේ සාදන්න.
28කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.
29ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.
30අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
31එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
32එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි;
මම ඒ දැක ගුරුකම් ලැබීමි.
33තව ටිකක් නිදාගැනීමක්ය.
ටිකක් සැතපීමක්ය;
නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි
34කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for හිතෝපදේශ 24