YouVersion 標識
搜索圖示

උත්පත්ති 3

3
මිනිසාගේ වැටීම
1 # එළිද 12:9; 20:2 දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය. 2ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, “උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය.
4එවිට සර්පයා පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. 5ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය.
6ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. 7එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.
8ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. 9එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. 10“ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. 11එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. 12ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. 13#2 කොරි 11:3; 1 තිමෝ 2:14 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
දඬුවම් නියම කිරීම
14එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක:
“තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා!
දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15 # එළිද 12:17 තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි.
ඔහු තගේ හිස පොඩි කරන්නේ ය;
තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
16උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:
“නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි.
විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය.
එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය.
ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
17තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක:
“භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා!
දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය;
18 # හෙබ්‍රෙ 6:8 පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය.
19භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය.
දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
20මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. 21දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක.
22 # එළිද 22:14 එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. 23මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.
24මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.

醒目顯示

分享

複製

None

想要在所有設備上保存你的醒目顯示嗎? 註冊或登入