ශු. යොහන් 16
16
1නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. 2ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය. 3ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත. 4තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය. 5නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත. 6නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ. 7එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. 8උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක. 9පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය; 10ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය; 11විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය. 12නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය. 13එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක. 14උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක. 15පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.
අවසාන අනුශාසනා වාක්‍ය
16ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක. 17එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය. 18එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය. 19තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද? 20සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය. 21ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය. 22එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. 23ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. 24මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
25මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය. 26ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි; 27මක්නිසාද නුඹලා මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක. 28මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක. 29උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක. 30ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය. 31යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: 32නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි. 33මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.
Seçili Olanlar:
ශු. යොහන් 16: SROV
Vurgu
Paylaş
Kopyala

Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın
Ceylon Bible Society