Logo ng YouVersion
Hanapin ang Icon

ශුද්ධවර ජොහන් 16

16
1“මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. 2ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. 3ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. 4තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.”
ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා
“මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි. 5එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති. 6එනමුත්, මා මේ දේවල් ඔබට කී බැවින්, ඔබේ සිත් දුකින් පිරී ඇත. 7කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි.
8උන් වහන්සේ පැමිණි කල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක. 9පාපය ගැන යයි කීවේ, ඔවුන් මා නොඅදහන බැවිනි; 10ධර්මිෂ්ඨකම ගැන යයි කීවේ, මින්පසු ඔබ මා නොදකින සේ, මා පියාණන් වහන්සේ වෙතට යන බැවිනි. 11විනිශ්චය ගැන යයි කීවේ, මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලද බැවිනි.
12“ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකි ය. 13එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. 14උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. 15පියාණන් සතු සියල්ල මාගේ ය. ආත්මයාණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැ යි මා කීවේ එබැවිනි.”
දොම්නස සොම්නසට හැරේ
16“ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය”යි උන් වහන්සේ වදාළ සේක. 17එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ. 18“උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ.
19ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? 20ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. 21ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය. 22එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.
23“ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක. 24මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”
මම ලෝකය ජයගතිමි
25“මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය. 26ඒ දවසේ දී ඔබ මාගේ නාමයෙන් අයැදින්නහු ය. ඔබ උදෙසා පියාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි යි මම නොකියමි. 27ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක. 28මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි”යි වදාළ සේක.
29උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. 30ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු”යි කී හ. 31ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දැන් විශ්වාස කරන්නහු ද? 32ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි. 33මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.

Haylayt

Ibahagi

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in

Video para sa ශුද්ධවර ජොහන් 16