Logo ng YouVersion
Hanapin ang Icon

ශුද්ධවර ජොහන් 14

14
ස්වර්ග මාර්ගය
1“ඔබේ සිත් නොකැළඹේ වා! දෙවියන් වහන්සේ අදහාගන්න#14:1 ඔබ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මා ද අදහාගන්න. 2මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි වාසය කිරීමට ඉඩපහසු තැන් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම් ද? ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි. 3මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. 4මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නහු ය”යි වදාළ සේක.
5තෝමස් කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නම් මාර්ගය දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය. 6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය. 7ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක.
8පිලිප් කතා කොට, “ස්වාමීනි, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව; එය අපට හොඳට ම ඇතැ”යි උන් වහන්සේට කී ය. 9ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද? 10මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අධිකාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක. 11මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න; එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසා වත් මා විශ්වාස කරන්න.
12“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය. 13පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි. 14ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.”
සහායදායකයාණන් එවීම ගැන පොරොන්දුව
15“ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය. 16එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. 17ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
18“ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි. 19තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි. 20ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.
21“මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.
22ජූදස් ඉස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන් වහන්සේ අමතා: “ස්වාමීනි, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැ”යි ඇසී ය. 23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු. 24මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව, මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය.
25“ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. 26එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.
27“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න. 28මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය. 29ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. 30තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත. 31එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.

Haylayt

Ibahagi

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in

Video para sa ශුද්ධවර ජොහන් 14