ශු. යොහන් 6
6
පන් දහසකට කන්ට දීම
1ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක. 2මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය, මක්නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක්වූ ලකුණු ඔව්හු දුටුවෝය. 3යේසුස්වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමඟ එහි වැඩහුන්සේක. 4යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය. 5යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. 6තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ම දැනගෙන, ඔහු සෝදිසිකරන පිණිස මෙසේ කීසේක. 7පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය. 8උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘ උන්වහන්සේට කථාකොට: 9යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය. 10මනුෂ්‍යයන් හිඳුවන්නැයි යේසුස්වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තණකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය. 11එවිට යේසුස්වහන්සේ රොටි ගෙන, ස්තුතිකොට, ඉඳගෙන උන්නවුන්ට බෙදාදුන්සේක; එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක. 12ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක. 13මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය. 14එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.
විවේකව සිටීමට යාම. මුහුද පිට පයින් ගමන
15එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක. 16සවස්වූ කල උන්වහන්සේගේ ගෝලයෝ මුහුද ළඟට ගියෝය; 17ඔව්හු ඔරුවකට නැගී මුහුදෙන් එගොඩව කපර්ණවුමට යන පිණිස ගියෝය. එවිට අන්ධකාරවී තිබුණේය, ඒතාක්ම යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් සිටියේ නැත. 18තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය. 19ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය. 20මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක. 21එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.
මිනිසුන් ලකුණක් සෙවීම
22පසුවදා මුහුද එගොඩ සිටි සමූහයා එහි එකම ඔරුවක් මිස වෙන එකක් නොතිබුණු බවද යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ එහි නොනැගුණු බවද උන්වහන්සේගේ ගෝලයන් පමණක් ගිය බවද දුටුවෝය. 23(එසේ වුවත් ස්වාමීන්වහන්සේ ස්තුතිකළායින් පසු ඔවුන් රොටි කෑවාවූ ස්ථානය සමීපයට තිබේරියස්හි සිට ඔරු වගයක් ආවෝය.) 24එහෙයින් සමූහයෝ යේසුස්වහන්සේවත් උන්වහන්සේගේ ගෝලයන්වත් එහි නැති බව දැනගත් කල, තුමූත් ඔරුවලට නැගී යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුමට ආවෝය. 25ඔව්හු මුහුදෙන් එගොඩදී උන්වහන්සේ දැක: රබ්බි, ඔබ කොයි වේලේ මෙතැනට ආසේක්දැයි ඇසුවෝය.
ජීවනයේ කෑම
26යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණි නිසාය. 27නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක. 28එබැවින් ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේගේ වැඩ ඉෂ්ටකරන පිණිස අප විසින් කුමක් කටයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 29යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක. 30එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද? 31ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය. 32එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක. 33මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක. 34එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය. 35යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය. 36නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි. 37පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. 38මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. 39මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැගුටුවීමය. 40මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක.
41එබැවින්: ස්වර්ගයෙන් බැස්සාවූ කෑම මමයයි උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන කොඳුරමින්– 42මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය. 43යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා අතරෙහි නොකොඳුරන්න. 44මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. 45සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති. 46එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය. 47සැබවක් සැබවක් නුඹලාට කියමි–අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. 48ජීවනදායක කෑම මමය. 49නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය. 50මේ කෑම නම්, එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නාවූ කෑමය. 51ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක.
52එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාදකරමින්: කන පිණිස තමාගේ මාංසය අපට දෙන්ට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය. 53ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත. 54මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. 55මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවු බීමය. 56මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි. 57ජීවමාන පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ද මා පියාණන්වහන්සේ නිසා ජීවත්වන්නාක්මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය. 58ස්වර්ගයෙන් බැස ආවාවූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක්මෙන් නොව, මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත්වන්නේයයි කීසේක. 59උන්වහන්සේ කපර්ණවුමේ උගන්වමින් සිටිසේක්, මේ කාරණා සිනගෝගයේදී කීසේක.
ගෝලයන්ගේ පසුබටවීම
60එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය. 61ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්: 62මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? 63ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. 64නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක. 65එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.
66මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.
යේසුස්වහන්සේ ක්‍රිස්තුස්ය කියා පේතෘස් කියාසිටීම
67නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක. 68සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය. 69අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය. 70යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක. 71මෙසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රවූ යූදස් ගැනය, මක්නිසාද දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඔහු උන්වහන්සේ පාවාදෙන්ට සිටියේය.
सध्या निवडलेले:
ශු. යොහන් 6: SROV
ठळक
सामायिक करा
कॉपी करा
तुमचे हायलाइट तुमच्या सर्व डिव्हाइसेसवर सेव्ह करायचे आहेत? साइन अप किंवा साइन इन
Ceylon Bible Society