ශු. යොහන් 4
4
යේසුස්වහන්සේ සහ සමාරියේ ස්ත්‍රිය
1එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්) 2උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල, 3යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක. 4උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින්, 5යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක. 6එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය. 7සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. 8මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. 9එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වු මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියයන් සමඟ යුදව්වන්ගේ ගනුදෙනුවක් නැත.) 10යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. 11ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? 12ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. 13යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. 14නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. 15ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොළුන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. 16ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. 17ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය යේසුස්වහන්සේ ඈට කියනසේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය. 18මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක. 19ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ. 20අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය. 21යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. 22නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. 23නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. 24දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක. 25ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය. 26නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.
27එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත. 28එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්: 29මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය. 30එවිට ඔව්හු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය. 31ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. 32නුමුත් උන්වහන්සේ: නුඹලා නොදන්නා කෑමක් කන්නට මට තිබේයයි ඔවුන්ට කීසේක. 33එබැවින්: කවුරුවත් උන්වහන්සේට කෑම ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකා කථාකරගත්තෝය. 34යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය. 35තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි–නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න. 36වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය. 37මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ. 38නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.
39මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. 40එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත්, තමුන් සමඟ නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණුසේක. 41වෙනත් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචන නිසා අදහා, 42ස්ත්‍රියට කථාකොට: අප දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ. මක්නිසාද අපිම අසා, සැබෑවටම මුන්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් බව දනිමුයයි කීවෝය.
ගලීලයේ රාජ සේවකයෙකුගේ පුත්‍රයාට සුවකිරීම
43ඒ දෙදවසට පසු උන්වහන්සේ එතැනින් පිටත්ව ගලීලයට ගියසේක. 44මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක. 45මෙසේ උන්වහන්සේ ගලීලයට පැමිණි කල, ගලීලයෝ මංගල්‍යයේදී උන්වහන්සේ විසින් යෙරුසලමෙහි කළ සියල්ල දැක උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද ඔව්හුද මංගල්‍යයට පැමිණියෝය.
46එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය. 47ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය. 48යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹලා ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාස කරන්නේ නැතැයි ඔහුට කීසේක. 49ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය. 50යේසුස්වහන්සේද: යන්න, නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස්වහන්සේ කී වචනය විශ්වාසකරගෙන ගියේය. 51ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය. 52එවිට ඔහුට සුවවෙන්ට පටන්ගත්තේ කොයි පැයේදීදැයි ඔහු ඔවුන්ගෙන් විචාළේය. ඊයේ සත්වෙනි පැයේදී උණ බැස්සේයයි ඔව්හු ඔහුට කීවෝය. 53නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය. 54මේ වනාහි යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු කළාවූ දෙවෙනි හාස්කමය.
सध्या निवडलेले:
ශු. යොහන් 4: SROV
ठळक
सामायिक करा
कॉपी करा
तुमचे हायलाइट तुमच्या सर्व डिव्हाइसेसवर सेव्ह करायचे आहेत? साइन अप किंवा साइन इन
Ceylon Bible Society