යොහන් 16
16
1“මේ සියල්ල මා ඔබට කීවේ, ඔබ අධෛර්යය නො වන පිණිසයි. 2ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත. 3ඔවුන් මේ දෑ කරන්නේ, ඔවුන් පියාණන්වහන්සේ හෝ මා හෝ හඳුනන්නේ නැති නිසයි. 4මා මේවා ඔබට කීවේ, ඒවායේ කාලය පැමිණි කල, මා ඒ දෑ කී වග ඔබට සිහිවීම පිණිසයි. මුලින් මේ දෑ ඔබට නො කීවේ මා ඔබ සමඟ සිටි නිසයි. 5මම දැන්, මා එවූ තැනැන්වහන්සේ වෙත යන්නෙමි. එහෙත්, ‘ඔබ යන්නේ කොහේ ද?’ කියා ඔබ කිසිවකු මගෙන් අහන්නේ නැත. 6එහෙත් මා කී මේ දේවල් නිසා ඔබේ හදවත් දුකින් පිරී ඇත. 7එසේ වුවත් මම ඔබට සැබෑව කියන්නම්; මා ඉවත්ව යන්නේ ඔබේම යහපතටයි. මා ඉවත්ව ගියහොත් මිස, සහනදායකයාණන් ඔබ වෙත එන්නේ නැත. එහෙත් මා ගියහොත්, මම උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි. 8උන්වහන්සේ පැමිණි කල, පාපය ද ධර්මිෂ්ඨකම ද විනිශ්චය ද පිළිබඳව ලෝකයාට ඒත්තු ගන්වන සේක. 9පාපය පිළිබඳව වන්නේ, ඔවුන් මා අදහා නො ගැනීම නිසා ය. 10ධර්මිෂ්ඨකම පිළිබඳව වන්නේ, පියාණන්වහන්සේ වෙත මා යන හෙයින් මින් මතු මා දකින්නට ඔබට නො ලැබෙන නිසා ය. 11විනිශ්චය පිළිබඳව වන්නේ, මෙලොවෙහි අධිපතියා විනිශ්චය කරනු ලැබ ඇති නිසා ය.
12“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන. 13එහෙත් සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා ඔබට මඟපෙන්වනු ඇත. උන්වහන්සේ තම ආධිපත්‍යයෙන් කතා නො කරන සේක්, තමන් අසන දෑ පවසමින්, මතු පැමිණෙන දෑ ඔබට ප්‍රකාශ කරනු ඇත. 14මා සතු දෑ ගෙන, ඒවා ඔබට ප්‍රකාශ කරමින් උන්වහන්සේ මා මහිමයට පමුණුවන සේක. 15පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගෙයි; ආත්මයාණන් මාගේ දෑ ගෙන ඔබට ප්‍රකාශ කරනු ඇතැ” යි මා කීවේ එබැවිනි.
ශෝකය ප්‍රීතියට හැරෙන හැටි
16“තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි, යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇතැ” යි කී සේක.
17එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතමෙක් එකිනෙකා අමතමින්, “ ‘තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කියාත්, ‘මා පියාණන්වහන්සේ වෙත යන නිසා ය’ කියාත් අපට මෙතුමන් කියන කියමනේ තේරුම කුමක් දැ?” යි පැවසූහ. 18එබැවින් ඔවුහු, “මේ කියන ‘ස්වල්ප වේලාව’ කුමක් ද? මෙතුමන් කියන දේ අපට වැටහෙන්නේ නැතැ” යි පැවසූහ.
19ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද? 20සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මුළු ලෝකයම ප්‍රීති වන අතර ඔබ හඬමින්, විලාප නඟනු ඇත. ඔබ ශෝක වනු ඇත. එහෙත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙයි. 21ප්‍රසූතියේදී ගැබිණියකට වේදනා දැනෙන්නේ, ඇගේ පැය පැමිණි නිසයි. එහෙත් ළදරුවා බිහි කළ පසු, ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා ඈ වේදනාව අමතක කරන්නී ය. 22එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත. 23එදාට ඔබ මගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ නාමයෙන් මගේ පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ එය ඔබට දෙන සේක. 24මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.
25“උපමා උපහැරණ මඟින් මේ දෑ මා ඔබට කීවත්, තවත් ඒ විදියට කතා නො කර, පැහැදිලිව පියාණන්වහන්සේ ගැන කතා කරන කාලය පැමිණේ. 26ඒ දවසේ ඔබ මාගේ නාමයෙන් ඉල්ලනු ඇත. එවිට ඔබ වෙනුවෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමියි මා කියන්නේ නැත. 27මන්ද ඔබ මට ප්‍රේම කළ නිසාත්, දෙවියන්වහන්සේ වෙතින් මා ආ වග ඔබ විශ්වාස කළ නිසාත්, පියාණන්වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක. 28පියාණන්වහන්සේ වෙතින් අවුත් ලෝකයට පිවිසි මම, දැන් මෙලොවින් නික්ම යළි පියාණන්වහන්සේ වෙත යන්නෙමි” යි පැවසූ සේක.
29උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබතුමා උපමා උපහැරණයෙන් තොරව දැන් ඔය පැහැදිලිව කතා කරන්නේ! 30ඔබ සියලු දේ දන්නා බවත්, කිසිවකු ඔබෙන් ප්‍රශ්න කරන්නට වුවමනා නැති බවත් දැන් අප දන්නවා. ඔබවහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ වග අප විශ්වාස කරන්නේ එබැවිනැ” යි කීවෝ ය.
31යේසුස්වහන්සේ, පිළිතුරු දෙමින්, “දැන් ඔබ විශ්වාස කරනවා ද? 32ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.
33“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.
ಪ್ರಸ್ತುತ ಆಯ್ಕೆ ಮಾಡಲಾಗಿದೆ:
යොහන් 16: SCV
Highlight
ಶೇರ್
ಕಾಪಿ
Want to have your highlights saved across all your devices? Sign up or sign in
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.