Logo de YouVersion
Icono de búsqueda

උත්පත්ති 32

32
1යාකොබ් තමාගේ ගමන යන්ට ගියේය. දෙවියන්වහන්සේගේ දූතයෝ ඔහුට සම්බවුණෝය. 2යාකොබ් ඔවුන් දුටු විට: මේ දෙවියන්වහන්සේගේ සේනාවය කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබීය.
යාකොබ් ඒසව් සම්මුඛවෙන්ට සූදානම්වීම
3තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය. 4ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය–මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි. 5මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියන්නැයි කීවේය. 6පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය. 7එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා: 8ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය. 9තවද යාකොබ්: මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී යන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළවූ ස්වාමීන්වහන්ස, 10ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි. 11මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි. 12ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය. 13ඔහු ඒ රාත්‍රියේ එහි නැවතී සිට තමාගේ සහෝදරවූ ඒසව්ට තෑග්ගක් පිණිස තමාට තිබුණු දෙයින් 14එළුදෙනුන් දෙසියයක් සහ එළුවන් විසිදෙනෙක්ද බැටළුදෙනුන් දෙසියයක් සහ බැටළුවන් විසිදෙනෙක්ද, 15කිරිදෙන ඔටුදෙනුන් තිස්දෙනෙක් සහ උන්ගේ පැටියන්ද එළදෙනුන් සතළිස් දෙනෙක් සහ ගොන් දස දෙනෙක්ද කොටළුදෙනුන් විසිදෙනෙක් සහ පැටවුන් දස දෙනෙක්ද රැගෙන 16තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: නුඹලා රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට යන්නැයි තමාගේ වැඩකාරයන්ට කීවේය. 17තවද ඔහු ප්‍රථමයාට අණකරමින්: මාගේ සහෝදරවූ ඒසව් නුඹට සම්බව–නුඹ කාගේද? කොතැනට යන්නෙහිද? නුඹට ඉස්සරින් යන මුන් කාට අයිතිදැයි නුඹෙන් අසන කල: 18උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවනලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියන්නැයි කීවේය. 19ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර– 20ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය. 21මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත්‍රියේ අන්දායමෙහි නැවතුණේය.
යාකොබ්ගේ පොරබැඳීම
22ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය. 23ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය. 24යාකොබ් හුදකලාව සිටියේය; එවිට මනුෂ්‍යයෙක් පහන්වෙන තුරු ඔහු සමඟ පොරබැදුවේය. 25ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමඟ පොරබදද්දී ඇදීගියේය. 26උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය. 27නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. 28යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක. 29යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක. 30යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි#32:30 එනම්, දෙවියන්වහන්සේගේ මුහුණ. නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය. 31ඔහු පෙනූයේල් පසුකර යන කල්හි ඉර උදාවිය, ඔහු තමාගේ කළවයේ රිදුම නිසා කොරගසමින් ගියේය. 32උන්වහන්සේ යාකොබ්ගේ කළවා සන්ධියේ නහරයට ගැසූ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ අද දක්වා කළවා සන්ධිය පිට තිබෙන නහරය නොකති.

Actualmente seleccionado:

උත්පත්ති 32: SROV

Destacar

Compartir

Copiar

None

¿Quieres tener guardados todos tus destacados en todos tus dispositivos? Regístrate o inicia sesión