YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 7

7
සම්ප්‍රදායයන් ගැන විවාදය
(මතෙ 15:1-9)
1තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, “ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ. 6#යෙසා 29:13 උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ:
‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
සිතින් නම් මගෙන් දුරු ව සිටිති.
7මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’
8ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක.
9උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10#නික්ම 20:12; 21:17; ලෙවී 20:9; ද්වි.නී. 5:16 මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත. 11එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු 12එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13මෙසේ කීමෙන් ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන දේ
(මතෙ 15:10-20)
14උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න. 15පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි; 16සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක.
17උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ. 18උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්, 19ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන් උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක. 20තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. 21ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, 22සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. 23මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.
විජාතික ස්ත්‍රියගේ ඇදහිල්ල
(මතෙ 15:21-28)
24උන් වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත් ව ගොස්, ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත්, සැඟවී සිටීමට උන් වහන්සේට නොහැකි විය. 25එකෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන් වහන්සේ ගැන අසා අවුත් උන් වහන්සේගේ පාමුල වැටුණා ය. 26ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය. 27උන් වහන්සේ ඈට උත්තර දෙමින්, “පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත් වා! දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම හරි නැතැ”යි වදාළ සේක. 28එහෙත් ඈ උත්තර දෙමින්, “එසේය, ස්වාමීනි, මේසය යට සිටින බල්ලෝ වුව ද දරුවන්ගේ කෑමෙන් වැටෙන කැබෙලි අවුලා කති”යි උන් වහන්සේට කීවා ය. 29උන් වහන්සේ ද කතා කරමින්, “මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න, දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරු ව ගියේ ය”යි ඈට වදාළ සේක. 30ඈ ගෙදර ගිය කල, ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත්, දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවා ය.
ගොළු බිහිරෙකුට සුවය
31යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, “එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි. 35එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37එය ඇසුවෝ අතිශයින් මවිත ව, “උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in