YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 16

16
ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලීම
(මාක් 8:11-13; ලූක් 12:54-56)
1 # මතෙ 12:38; ලූක් 11:16 පරිසිවරු ද සද්දුසිවරු ද අවුත්, උන් වහන්සේ වචනයකින් අසු කරගනු පිණිස තමන්ට ස්වර්ගයෙන් හාස්කමක් පෙන්වන මෙන් උන් වහන්සේගෙන් ඉල්ලූහ. 2උන් වහන්සේ උත්තර දෙමින්, “සවස් කාලයෙහි අහස රතු පැහැය ගන්නා නිසා කාලගුණය හොඳ ය කියා ද, 3උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන. 4#මතෙ 12:39; ලූක් 11:29 අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.
කපටි ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම
(මාක් 8:14-21)
5ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය. 6#ලූක් 12:1 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. 7“උන් වහන්සේ එසේ කියන්නේ අප රොටි නොගෙනා නිසා ය”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 8ජේසුස් වහන්සේ ඒ බව දැන, “ඇදහිල්ල හීන තැනැත්තෙනි, ඔබට රොටි නැති නිසා ඔබ එසේ කතා කරන්නේ මන් ද? 9#මතෙ 14:17-21 ඔබට තව ම තේරුම් ගොස් නැද් ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත්, 10#මතෙ 15:34-38 සාර දහසකට දුන් රොටි හත ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත් මතක නැද් ද? 11රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක. 12මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ රොටි සාදන මුහුන්වලින් පරෙස්සම් වීම නොව, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම බව ඔව්හු තේරුම් ගත්හ.
පේදුරුගේ මහා ප්‍රකාශනය
(මාක් 8:27-30; ලූක් 9:18-21)
13ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 14#මතෙ 14:1-2; මාක් 6:14-15; ලූක් 9:7-8 ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. 15“එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 16#ජොහ 6:68-69 සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. 17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. 18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. 19#මතෙ 18:18; ජොහ 20:23 ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. 20තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.
ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
(මාක් 8:31; 9:1; ලූක් 9:21-27)
21එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක. 22එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, “ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය. 23එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.
මමත්වය නැසීම පිළිබඳ අනුශාසනා
24 # මතෙ 10:38; ලූක් 14:27 එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා! 25#මතෙ 10:39; ලූක් 17:33; ජොහ 12:25 මන්ද, සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේ ය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැක ගන්නේ ය. 26යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද? 27#මතෙ 25:31; ගීතා 62:12; රෝම 2:6 මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක. 28සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in