YouVersion Logo
Search Icon

1 පේතෘස් 2

2
1එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න. 2සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස, 3අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න.
ජීවමාන ගල සහ තෝරාගත් ජනයා
4මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල, 5යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පංතියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක්ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න. 6මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය:
“මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්,
මම සියොන්හි තබමි;
උන්වහන්සේ තුළ විශ්වාසය තබන කිසිවකු,
ලජ්ජාවට පත් නො වේ.”#2:6 යෙසා 28:16
7මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට,
“ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල,
ප්‍රධාන කොනේ ගල බවට පත් විය.”#2:7 ගීතා 118:22
8තවද එය,
“පැකිළවීමේ ගලකි,
බාධාවේ පර්වතයකි.”#2:8 යෙසා 8:14
ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.
9එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි. 10වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.
මිථ්‍යාදෘෂ්ටික සමාජයක් තුළ භක්තිවන්ත ජීවිතය
11ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි. 12ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.
13හැම මිනිස් අධිකාරිත්වයකට ස්වාමින්වහන්සේ උදෙසා යටත් වන්න. ඒ, ශ්‍රේෂ්ඨ බලධාරියා වශයෙන් රජු විය හැකි ය; 14නපුර කරන්නවුනට දඬුවම් දෙන්නටත්, හරි දේ කරන්නවුන් පසසන්නටත් ඔහු විසින් යවන ලද ආණ්ඩුකරුවන් විය හැකි ය. 15මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි; එනම් හරි දේ කිරීමෙන්, මෝඩ මිනිසුන්ගේ නූගත්කම නිරුත්තර කිරීමයි. 16නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න. එහෙත් ඔබගේ නිදහස දුෂ්ටකම් වසාගැන්මේ ආවරණයක් කර නො ගෙන, දෙවියන්වහන්සේගේ දාසයින් ලෙස ජීවත් වන්න. 17හැමට ගෞරව දක්වන්න. සහෝදරත්වයට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේට බය වෙන්න. රජුට ගරු කරන්න.
18දාසයිනි, ඔබගේ ගුණ යහපත් හා මෘදු හාම්පුතුනට පමණක් නො ව අසාධාරණ අයටත් සියලු ගරුත්වයෙන් යුතුව යටත් වන්න. 19දෙවියන්වහන්සේ කෙරෙහි වූ හෘදය සාක්ෂිය නිසා යමෙක්, අසාධාරණයේ පීඩා විඳ දරා ගන්නේ නම් එය ප්‍රශංසනීය ය. 20මන්ද ඔබ වරද කර, එනිසා ලැබෙන පහරකෑම විඳ දරා ගැනීමේ ඇති ගෞරවය කිමෙක් ද? එහෙත් හරි දෙයක් කිරීම නිසා එන වධ වේදනා ඔබ ඉවසිල්ලෙන් විඳ දරා ගනී නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය ප්‍රශංසනීය ය. 21ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක.
22“උන්වහන්සේ කිසි පවක් කළේ නැත.
උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.”#2:22 යෙසා 53:9
23උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන්ම භාරවන්නට වූ සේක. 24“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”#2:24 යෙසා 53:5 25මන්ද “ඔබ සිටියේ මංමුළා වී යන බැටළුවන් මෙනි.”#2:25 යෙසා 53:6 එහෙත් දැන් ඔබ ඔබගේ ජීවයේ එඬේරාණන් ද භාරකරුවාණන් ද වෙත හැරී ඇවිදින් ය.

Currently Selected:

1 පේතෘස් 2: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in