YouVersion Logo
Search Icon

නෙහෙමියා 4

4
ගොඩනැඟීමට විරෝධතා
1අප පවුර සාදන බව සන්බලට් ඇසූ විට, ඔහු කෝප වී, අතිශයින් උදහස් වී ජුදෙව්වරුන්ට නින්දා කෙළේ ය. 2ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.
3ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.
4මම මෙසේ යාච්ඤා කෙළෙමි: “අපේ දෙවියන් වහන්ස! ඇසුව මැනව. අනේ ඔවුන් අප පහත් කොට සලකන හැටි! ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ හිස පිට කඩා වැටුණාවේ! වහල්කමට වැටෙන රටක කොල්ලයට ඔවුන් පාවා දුන මැනව. 5ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”
6එහෙත්, අපි පවුර ගොඩනඟාගෙන ගියෙමු. මෙසේ හරි අඩක් උසට මුළු පවුර සාදන ලද්දේ ය. එසේ කළ හැකි වූයේ, වැඩ කරන්නට සෙනඟට සිතේ ධෛර්යය තිබුණ බැවිනි.
7ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ. 8ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය. 9එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.
10ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.
11අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ. 12තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ. 13ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.
14මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි. 15තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු.
16එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. 17බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය. 18ගොඩනඟන අය ද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැඟුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේ ය. 19මම නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “මෙය ඉතා වැදගත් විශාල වැඩකි. අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරස්තර ව සිටිමු. 20යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි. 21මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය.
22එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්‍රිය ගත කෙරේවා”යි කීවෙමි. 23මාගේ ඥාතීහු වත්, මාගේ සේවකයෝ වත්, මා කැටුව පැමිණි රැකවල්ලු වත්, මම වත් ඇඳුම් නොගැලෙව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව සිටියෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for නෙහෙමියා 4