YouVersion Logo
Search Icon

ජෝෂුවා 23

23
විශ්වාස ව සිටීමට අවවාද
1සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් වට කර සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව දී බොහෝ කලක් ගත වූ පසු, ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. 2ඔහු සියලු ඉශ්රායෙල්වරුන් එනම්, ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවා, ඔවුන්ට මෙසේ කීවේ ය: “මම මහලු ව, වයෝවෘද්ධ ව සිටිමි. 3ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. 4ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි. 5ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත. 6එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. 7එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න. 8ඔබ මේ දක්වා කර ඇති පරිදි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ම විශ්වාසවන්ත ව සිටින්න. 9මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත. 10#ද්වි.නී. 3:22; 32:30ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය. 11එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. 12ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්, 13ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න.
14“බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය. 15තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කළ සියලු පොරොන්දු ඔබට ඉෂ්ට කර දුන්නාක් මෙන් ම, ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු සියලු නපුරු දේ ඔබ පිටට පමුණුවන්නට උන් වහන්සේට පුළුවන. 16ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”

Currently Selected:

ජෝෂුවා 23: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ජෝෂුවා 23