YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 20

20
හිස් වූ සොහොන
(මතෙ 28:1-10; මාක් 16:1-8; ලූක් 24:1-12)
1සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය. 2එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, “ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය. 3එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ. 4දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ, 5නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය. 6සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්, 7උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය. 8එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. 9උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත. 10ඉක්බිති ශ්‍රාවකයෝ තම තමන්ගේ නිවෙස්වලට හැරී ගියහ.
ජේසුස් වහන්සේ මග්දලායේ මරියාට දර්ශනය වීම
(මතෙ 28:9-10; මාක් 16:9-11)
11එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය. 12එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය. 13එකල ඔව්හු: “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. “ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය.
14මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය. 15“ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: “මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය. 16ජේසුස් වහන්සේ, “මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, “රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි.
17ජේසුස් වහන්සේ කතා කොට, “මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
18මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, “මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.
ශ්‍රාවකයන්ට දර්ශනය වීම
(මතෙ 28:16-20; මාක් 16:14-18; ලූක් 24:36-49)
19සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක. 20උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. 21“ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා “පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක. 22උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23#මතෙ 16:19; 18:18 ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
තෝමස්ට දර්ශනය වීම
24ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ‘නිවුන් දරුවා’ යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය. 25එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, “අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, “උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය.
26අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. 27ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක. 28තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය. 29එවිට ජේසුස් වහන්සේ, “ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක.
පොත ලිවීමේ අදහස
30මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක. 31එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in