වීරාවලිය 1
1
ජුදාගේ සහ සිමියොන්ගේ ගෝත්‍රවල ජයග්‍රහණ
1ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.
2සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.
3ජුදාගේ ගෝත්‍රය සිමියොන් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියොන්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ. 4ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය. 5බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය. 6එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ. 7අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියෝ ය. ඔහු එහි දී මළේ ය.
ජෙරුසලම සහ හෙබ්‍රොන් අත්කරගැනීම
8ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය. 9ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය. 10එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.
ඔත්නියෙල් දෙබීර් නගරය අල්ලාගැනීම
11ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය. 12කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය. 13කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය. 14ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය. 15ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.
බෙන්ජමින්ගේ සහ ජුදාගේ ගෝත්‍රවල ජයග්‍රහණ
16කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය. 17ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී. 18ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්‍රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ. 19සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය. 20#ජෝෂු 15:13-14මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්‍රයන් තිදෙනා පන්නා දැමී ය. 21#ජෝෂු 15:63; 2 සාමු 5:6; 1 වංශා 11:4බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් අල්ලාගැනීම
22ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක. 23ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය. 24ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය. 25නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය. 26ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.
මනස්සේගේ සහ එප්‍රායිම්ගේ ගෝත්‍රවල ජයග්‍රහණ
27 #
ජෝෂු 17:11-13
මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය. 28ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.
29 #
ජෝෂු 16:10
එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.
සෙසු ගෝත්‍රවල ජයග්‍රහණ
30සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.
31ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය. 32ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.
33නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.
34අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. 35අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.
36අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.
Currently Selected:
වීරාවලිය 1: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in
Free Reading Plans and Devotionals related to වීරාවලිය 1

Fluent: Part 6

The Story of God: 30 Day Reading Plan

Book of Judges
