YouVersion Logo
Search Icon

යෙසායා 3

3
ජෙරුසලමේ අවුල් වියවුල්
1සමිඳාණෝ එනම්,
සව් බලැති සමිඳාණෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනඟගේ
පිහිටාධාරය වන සියලු දේ ඔවුන්ගේ ආහාර පාන ද ඉවත් කරන සේක.
2වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා
දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද
3හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන් ද
මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවන් ද
එතුමාණෝ පහකරන සේක.
4සෙනඟගේ අධිපතීන් වශයෙන්
ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.
5සෙනඟ එකිනෙකාට හා
තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය.
ගැටවරයෝ වැඩිහිටියන්ටත්,
පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.
6එක් වංශයකට අයිති අය
තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන,
“ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත;
ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ
අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.
7එහෙත්, ඔහු පිළිතුරු දෙමින්,
“ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය.
කෑම වත්, ඇඳුම් වත් මට නැත;
ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැ”යි කියනු ඇත.
8සැබැවින් ම ජෙරුසලම
නැති නාස්ති වී ඇත.
ජුදා වැටී ඇත.
කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ.
ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.
9ඔවුන්ගේ අහංකාර පෙනීම
ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි;
සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති;
ඔවුන්ට වන විපතක මහත!
එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.
10ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය;
ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.
11එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත!
ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.
12මුදල්#3:12 මෙම පදය සෙප්ටුවජින්න පිටපතෙහි සඳහන් වේ. ණයට දෙන්නෝ
මාගේ සෙනඟට හිරිහැර කරති;
අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති;
දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති;
ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති.
මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති;
යා යුතු මඟ අවුල් කරති.
ජුදාවේ විනාශය
13කරුණු ප්‍රකාශ කරන්නත්,
ජාතීන් විනිශ්චය කරන්නත්
සමිඳාණෝ අසුන් අරා සිටින සේක.
14සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද
නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක.
එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක:
“නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින්
නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.
15මාගේ සෙනඟ පාගාදමන්නත්,
දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත.
මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”
ජෙරුසලමේ ස්ත්‍රීන්ගේ ඉරණම
16සමිඳාණෝ මෙසේ වදාරන සේක;
“ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බර ද කියා බලන්න.
ඔව්හු අහංකාරකමින් හිස ඔසවාගෙන,
නුවන’ඟ බැලුම් හෙළමින්, පා සළඹ හඬ නංවමින් ඇවිදිති.
17මම ඔවුන්ගේ හිස මුඩුකර,
ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”
18සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන්, ඔවුන්ගේ උඩඟුකමට හේතු වන දේවල් එනම්, පාදවලත්, බෙල්ලේත්, හිසේත් පළඳින ආභරණ ද; 19අත් වළලු ද මුවවස්නා ද; 20මකුට ද පාදදාම ද ඉඟපටි ද සුවඳ හෙප්පු ද සුර ද; 21මුදු ද නාසාභරණ ද; 22මංගල වස්ත්‍ර ද සළු ද උතුරු සළු ද පසුම්බි ද; 23අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.
24එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.
25නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය. 26නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.

Currently Selected:

යෙසායා 3: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for යෙසායා 3