YouVersion Logo
Search Icon

යෙසායා 11

11
සාම රාජ්‍යය
1 # එළිද 5:5; 22:16 “ජෙස්සේගේ#11:1 “ජෙස්සේ” මෙම රූපකයෙන් හැඳින්වෙන්නේ දාවිත්ගේ පෙළපතයි. වෘක්ෂ කඳෙන් අංකුරයක් නික්මෙන්නේ ය.
එහි මුල්වලින් පැළයක් නැඟී එන්නේ ය.
2සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.
3එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය.
එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
4 # 2 තෙස 2:8 එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක.
එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක.
වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
5 # එපී 6:14 යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
6 # යෙසා 65:25 වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය;
දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය.
සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය;
කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
7එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය;
උන්ගේ පැටව් එකට ලගින්නෝ ය.
සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය.
8කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය.
සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.
9 # හබ 2:14 සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය.
මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
වහල්කමට ගෙන ගිය අය ආපසු පැමිණීම
10 # රෝම 15:12 දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය. 11ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
12සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
13ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත.
ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය.
ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
14ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය;
නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය.
ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය.
අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.
15 # එළිද 16:12 සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක.
එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක.
එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.
16ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.

Currently Selected:

යෙසායා 11: SNRV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for යෙසායා 11