ද්විතීය නීති සංග්‍රහය 29
29
මෝවබ්හි දී කළ ගිවිසුම සිහි කිරීම
1සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.
2මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ 3බිහිසුණු පීඩා ද හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද ඔබ දුටුවහු ය. 4එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක. 5සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය. 6සමිදාණන් වහන්සේ වන මා ඔබේ දෙවියන් වහන්සේ බව දැනගන්නා පිණිස ඔබ රොටි කෑවේ වත් මිදිරස හෝ මත්පැන් පානය කළේ වත් නැත. 7#ගණන් 21:21-35ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු. 8#ගණන් 32:33අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු. 9එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න.
10“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද 11ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෝ ය. 12ඔබ එසේ සිටින්නේ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුම් ගිවිසුමට ඔබ ඇතුළු වන පිණිස ය. 13එවිට උන් වහන්සේ ඔබට වදාළ පරිදි, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුළ පරිදි අද දින උන් වහන්සේ ඔබ තමන්ට ම වෙන් කොටගත් සෙනඟක් කර, ඔබේ දෙවියන් වහන්සේ වන සේක. 14උන් වහන්සේ මේ දිවුරුම් ගිවිසුම කරන්නේ ඔබ සමඟ පමණක් නොවේ. 15අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙහි සිටින ඔබ සමඟත්, අද දින මෙහි නැති අය සමඟත් උන් වහන්සේ ගිවිසුම කරන සේක.
16“මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය. 17ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය. 18#හෙබ්‍රෙ 12:15මෙදින අප දෙවියන් වහන්සේ අත්හැර දමා මේ ජාතීන්ගේ දෙවිදේවතාවන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කරනු සඳහා සිත වෙනස් කරගත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ද පවුලක් හෝ ගෝත්‍රයක් ද ඔබ අතර නොසිටින හැටියටත්, තිත්ත වහ ගෙඩි හටගන්වන ගහක මුලක් ඔබ අතර නොවන හැටියටත් ප්‍රවේසම් විය යුතු ය. 19එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත. 20සමිඳාණන් වහන්සේ ඔහුට කමා නොකරන සේක, උන් වහන්සේගේ උදහස ද කෝපය ද ඔහුට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. මේ පොතේ ලියන ලද සාප සියල්ල ඔහු පිට වැටෙන්නේ ය. තවද, උන් වහන්සේ ඔහුගේ නම මිහි පිටින් මකාදමන සේක. 21මේ නීති සංග්‍රහය ලියන ලද ගිවිසුමට සම්බන්ධ සාප සියල්ල අනුව සමිඳාණන් වහන්සේ ඔහු විපතට හෙළනු පිණිස සියලු ම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඔහු වනසාලන සේක.
22“මෙසේ ඔබට පසු එන ඔබේ දරු පරම්පරා සහ දුර රටකින් පැමිණෙන විදේශිකයා, සමිඳාණන් වහන්සේ ඒ රටට එවූ වසංගත සහ ලෙඩරෝග ද දකින්නෝ ය. 23#උත් 19:24-25උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත. 24සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය. 25එවිට මිනිස්සු පිළිතුරු දෙමින් මෙසේ කියන්නෝ ය: ‘මොවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළ ගිවිසුම ඔව්හු අත්හැර ගොස්, 26ඔවුන් නොදත්, උන් වහන්සේ ඔවුන්ට නුදුන්, අන් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කළෝ ය. 27එබැවින් මේ පොතේ ලියා ඇති සාප සියල්ල ඒ රටට පමුණුවන තරම් ඊට විරුද්ධ ව උන් වහන්සේගේ කෝපය ඇවිළිණි. 28සමිඳාණන් වහන්සේ කෝපයෙන් සහ උදහසින් ද දැඩි ක්‍රෝධයෙන් ද ඇවිළී ඔවුන්ගේ මවු බිමින් ඔවුන් මුලින් උදුරා, අද සිටින පරිදි වෙනත් රටකට ඔවුන් පලවා දැමූ සේක.’
29“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”
Currently Selected:
ද්විතීය නීති සංග්‍රහය 29: SNRV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in