YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 20

20
යුද්ධ නීති
1“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. 2ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ, 3ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න. 4ඔබ ගළවාගැනීමට ඔබ වෙනුවෙන් සතුරන්ට විරුද්ධ ව සටන් කරන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වඩින සේකැ’යි කිව යුතු ය.
5“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත. 6මිදි වත්තක් වවා එහි පලදාව භුක්ති නොවින්ද යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙක් එහි පලදාව භුක්ති විඳින්නට පුළුවන. 7කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන.
8“නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය. 9නිලධාරීන් සෙනඟට කතා කොට නිම වූ පසු, සේනාවන් මෙහෙය වනු සඳහා සේනාධිපතීන් පත් කරනු ලැබිය යුතු ය.
10“යම් නුවරකට විරුද්ධ ව සටන් කිරීම ළඟා වන විට, ඊට සාම යෝජනාවක් ඉදිරිපත් කරන්න. 11ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය. 12එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය. 13දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබේ බලයට පාවා දුන් පසු, ඔබ එහි සිටින සියලු පිරිමින් කඩුවෙන් මරාදැමිය යුතු ය. 14එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්‍රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය. 15ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.
16“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය. 17දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්‍රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය. 18ඔබ එසේ කළ යුත්තේ, ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් ඉදිරියෙහි කරන පිළිකුල් ක්‍රියාවන් ඔබට නූගන්වන පිණිසත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකරන පිණිසත් ය.
19“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය. 20පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ද්විතීය නීති සංග්‍රහය 20