බාරුක් 2
2
1“එබැවින් අප ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර නායකයන් ගැන ද අපේ රජවරුන් සහ නායකයන් ගැන ද ඉශ්රායෙල්හි සහ ජුදාහි සෙනඟ ගැන ද ස්වාමීන් වහන්සේ දුන් විනිශ්චය උන් වහන්සේ ක්‍රියාත්මක කළ සේක. 2උන් වහන්සේ ජෙරුසලමට කළ දේ මේ මහා අහස් තලය යට කිසි දිනක සිදු නො වී ය. මේ සියල්ල සිදුවූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියන ලද දේ වලට එකඟ ව ය. 3අපේ ම දූදරුවන්ගේ මාංස කන තත්ත්වයකට අපි වැටුණෙමු. 4තවද, අප අවට සියලු ජාතීන් අප එපා කොට අප පිළිකුල් කරන ලෙසට උන් වහන්සේ අප විසුරුවා හැර අප වටේට සිටින රාජ්‍යයන්ගේ බලයට අප පාවා දුන් සේක. 5අප දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නොදී, උන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින්, අපි ස්වාමිවරුන් වෙනවා වෙනුවට වහල්ලු වීමු.
6“අපේ දෙවි ස්වාමීන් වහන්සේට අවංකකම හිමි ය. අපේ මුතුන්මිත්තන්ට මෙන් අද අපිත් ලජ්ජාවට පත් වී සිටින්නෙමු. 7සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ප්‍රකාශ කළ අභාග්‍යයන් දැන් අපට පැමිණ ඇත. 8එහෙත්, අපි තවමත් අපේ නපුරු සිත්වලින් නපුරු සිතිවිලි අහක් නොකෙළෙමු. සමිඳාණන් වහන්සේගේ කරුණාව දිනාගැනීමට උත්සාහ නොකෙළෙමු. 9එබැවින් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අප කරන සියල්ලට සාධාරණ ලෙස ප්‍රතිවිපාක දෙන බැවින් උන් වහන්සේ අප වෙත අභාග්‍යයන් එවීමට හරි මොහොත එන තෙක් බලා සිටිය සේක. 10තවද, සමිඳාණන් වහන්සේ අපට පිළියෙළ කළ අණපනත් පිළිගැනීමට අපට කී විට අපි උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නෙමු.”
යාච්ඤාව
11“අද ඔබ වහන්සේට හිමි වී තිබෙන නාමය දිනාගනු පිණිස ප්‍රබල බාහු බලය, ලකුණු හා අරුමපුදුම දේ දක්වමින් ද, බල මහිමයෙන් හා දිගු කළ හස්තයෙන් ද මිසර දේශයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්ස, 12අපි පව් කෙළෙමු. අපි අභක්තිකයෝ ව සිටියෙමු. අපේ දෙවි ස්වාමීනි, අපි ඔබේ අණපනත් සියල්ල ම කඩ කෙළෙමු. 13ඔබ වහන්සේ අප ජාතීන් අතර විසුරුවාදැමූ සේක. ඒ නිසා අප දැන් ඉතා අසරණ කුඩා පිරිසක් වන බැවින් ඔබේ කෝපයන් අපෙන් ඉවතලනු මැනව. 14සමිඳාණන් වහන්ස, අපේ යාච්ඤාවට, අපේ අයැදුමට සවන් දුන මැනව. ඔබේ ගෞරවය උදෙසා අප ගළවා අප අල්ලාගත් සියලු අයට පෙනෙන පිණිස ඔබේ අනුග්‍රහය අපට දුන මැනව. 15එවිට ඉශ්රායෙල්වරුන්ටත් ඔවුන්ගේ පෙළපතටත් ඔබේ නාමය අයිති බැවින් ඔබ අපේ දෙවි ස්වාමීන් වහන්සේ බව මුළු ලෝකය ම දැනගන්නෝ ය. 16සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ වාසභවනයේ සිට අප දෙස බැලුව මැනව. අප ගැන කල්පනා කළ මැනව. අප ගැන සලකා, අපට සවන් දුන මැනව. 17සමිඳාණන් වහන්ස, අප දෙස බැල්ම යොමු කර අප ගැන සිතුව මැනව. ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරන්නේත්, ඔබේ පනත් පිළිපදින්නේත් ශරීරයේ හුස්ම ටික බේරී ගොස් පාතාලයේ සිටින මියගිය අය නොවෙති. 18සමිඳාණන් වහන්ස, ඔබේ මහිමය වර්ණනා කරන්නේත් ඔබේ අණපනත් පිළිපදින්නේත් දුකින් පෙළෙන, පෙනීම අඩු වේගෙන යන, සාගින්නෙන් පිඩා විඳින, යටහත් පහත් ලෙස දුබල ව තම කටයුතු කරන තැනැත්තෝ ය.
19“අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබට බැගෑපත් ලෙස යාච්ඤා කරනු සඳහා අපේ මුතුන්මිත්තන්ගේ සහ අපේ රජවරුන්ගේ දමිටු ක්‍රියා කෙරෙහි අපි බලාපොරොත්තුව නො තබමු. 20අපි එලෙස නො කරමු. ඔබ වහන්සේ ඔබේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ ලෙස ඔබ තමන් කෝපයත්, උදහසත් අප පිට පැමිණෙව් සේක. 21ඒ මන්ද, දිවැසිවරයන් තුළින් ඔබ වහන්සේ කතා කරමින්, “ඔබේ ගෙල පහත් කොට බබිලෝනියාවේ රජුට යටත් වන්න, මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ සැම නැවතී සිටින්නාහු ය. 22එහෙත් සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නො දී බබිලෝනියාවේ රජුට යටත් නොවන්නහු නම්, 23“මම ජුදා නුවරවල හා ජෙරුසලමෙහි වීථිවල මනාලයාගේ සහ මනාලියගේ කටහඬ ද ප්‍රීතිඝෝෂාව හා විනෝදය ද නිහඬ කරන්නෙමි. මුළු රට ම කිසි වැසියෙකු නැති කාන්තාරයකට හරවන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවෝ ය. 24එහෙත් අපි ඔබේ හඬට සවන් නුදුන්නෙමු. බබිලෝනියාවේ රජුට යටත් නුවූයෙමු. එබැවින් ඔබ වහන්සේගේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ දේ, එනම්, ‘අපේ රජුන්ගේ ද මුතුන්මිත්තන්ගේ ද ඇටකටු සොහොන් බිම්වලින් ඇද දමනු ලැබේ’ යන්න ඔබ ක්‍රියාත්මක කළ සේක. 25ඇත්තෙන් ම ඒවා දවාලේ උෂ්ණත්වයටත්, රාත්‍රියේ ශීතලයටත් අසු වන පිණිස උඩට වීසි කර දමන ලදී. සෙනඟ ද භයානක කටුක වේදනාවෙන් පෙළී සාගතයෙන් හා කඩුවෙන් ද, වසංගතයෙන් ද මිය ගියහ. 26මෙලෙස ඉශ්රායෙල්වරුන්ගේ වංශයේ ද ජුදාගේ වංශයේ ද දුෂ්ටකම නිසා ඔබ තමන් නාමය රඳා පවතින මේ වංශය අද දින තිබෙන තත්ත්වයට පත් කළ සේක.
27“තවද, අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ යහපත්කමට හා අසීමිත කරුණාවට ඔබින පරිදි ඔබ අප ගැන ක්‍රියා කළ සේක. 28එලෙස කෙළේ ඔබේ සේවක මෝසෙස් ඔබ පොරොන්දු වූ පරිදි ය. ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට ඔබේ ව්‍යවස්ථාව ලියන්නට කී දින ඔබ මෙසේ වදාළ සේක: 29‘ඔබ මාගේ හඬට සවන් නොදෙන්නහු නම්, මේ මහා අසංබ්‍ය සෙනඟ, ජාතීන් අතර ඉතා කුඩා පිරිසක් බවට ඇත්තෙන් ම පමුණුවන්නෙමි. ඒ ජාතීන් අතර මේ පිරිස විසුරුවා හරින්නෙමි. 30තවද, මේ සෙනඟ ඉතා මුරණ්ඩු බැවින් ඔවුන් මට සවන් නොදෙන බව මම තරයේ දනිමි. එහෙත්, ඔවුන් වහලුන් මෙන් ජීවිතය ගතකරන රටේ දී ඔවුන් මේ සියල්ල සිතට ගෙන, 31මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු පිළිගත්තෝ ය. එවිට මම ඔවුන්ට හොඳ සිතකුත් සාවධාන කන් දෙකකුත් දෙන්නෙමි. 32ඔවුන් පිටුවහල් වී සිටින රටේ දී ඔව්හු මට ප්‍රශංසා ගී ගයන්නෝ ය; මාගේ නාමය සිහි කරන්නෝ ය. 33ඔව්හු තවදුරටත් මුරණ්ඩු නොවී, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට වූ දේ සිහිපත් කොට නපුරු ක්‍රියා කිරීමෙන් වැළකී සිටින්නෝ ය. 34එවිට මම ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුරුම් පිට පොරොන්දු දුන් ලෙස ඔවුන් ආපසු දේශයට ගෙනැවිත් එහි ස්වාමිවරුන් කරන්නෙමි; මම ඔවුන්ගේ ගණන වැඩි වර්ධනය කරන්නෙමි. ඔවුන් පිරිහෙන්නේ නැත. 35මම ඔවුන් සමඟ සදාතන ගිවිසුමක් කරන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි; ඔව්හු මාගේ සෙනඟ වන්නාහු ය; මා ඉශ්රායෙල් සෙනඟට දුන් රටින් මම ඔවුන් නැවත පලවා නො හරින්නෙමි.
Currently Selected:
බාරුක් 2: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in