YouVersion Logo
Search Icon

ක්‍රියා 5

5
අනනියස් සහ සපිරා
1අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා, 2ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය. 3එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද? 4විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය. 5අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ. 6තරුණයෝ අවුත් මළ මිනිය ඔතා, පිටතට ගෙන ගොස් වැළැලූ හ.
7පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය. 8පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය. 9එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය. 10ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ. 11මුළු සභාව ද එය ඇසූ සියල්ලෝ ද අතිශයින් බියපත් වූ හ.
අරුමපුදුම දේ
12අපෝස්තුළුවරුන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ. 13සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ. 14සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය. 15එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ. 16ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ.
අපෝස්තුළුවරුන්ට පීඩා කිරීම
17එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, 18අපෝස්තුළුවරුන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. 19එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට, 20“යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය. 21ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ.
ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුළුවරුන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ. 22එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: 23“සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.” 24දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ. 25එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය. 26දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් අපෝස්තුළුවරුන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් අපෝස්තුළුවරුන්ට කිසි හිරිහැරයක් නොකළහ.
27ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා, 28#මතෙ 27:25 “මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ. 29එවිට පේදුරු සහ අපෝස්තුළුවරු පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය. 30අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක. 31එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය. 32මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.
33ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ. 34එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය: 35“ඉශ්රායෙල් ජනයිනි, ඔබ මේ මිනිසුන්ට කරන්නට යන දේ ගැන පරිස්සම්වන්න. 36ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ. 37ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ. 38ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය. 39එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
40ඉන්පසු ඔව්හු අපෝස්තුළුවරුන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ. 41එවිට අපෝස්තුළුවරු ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ. 42තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in