YouVersion Logo
Search Icon

ක්‍රියා 1

1
ශුද්ධාත්ම පොරොන්දුව
1 # ලූක් 1:1-4 තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් අපෝස්තුළුවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4#ලූක් 24:49උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5#මතෙ 3:11; මාක් 1:8; ලූක් 3:16; ජොහ 1:33 මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය#1:5 මෙය බව්තීස්මය සහ ප්‍රසාද ස්නාපනය යන වචන දෙක වෙනුවට යොදා ඇති සම්මත වචනය යි. ගැටපද විවරණය බලන්න. කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.
ස්වර්ගාරෝහණය
6අපෝස්තුළුවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8#මතෙ 28:19; මාක් 16:15; ලූක් 24:47-48 එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9#මාක් 16:19; ලූක් 24:50-51 උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.
10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
අපෝස්තුළුවරයට මතියස් තෝරාගැනීම
12එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ. 13#මතෙ 10:2-4; මාක් 3:16-19; ලූක් 6:14-16 ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය. 14මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.
15මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය: 16“සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි. 17මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය. 18#මතෙ 27:3-8 මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය. 19ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ. 20#ගීතා 69:25; 109:8 මන්ද යත්:
‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා!
කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’
කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’
කියා ද ගීතාවලියේ ලියා තිබේ. 21-22#මතෙ 3:16; මාක් 1:9; 16:19; ලූක් 3:21; 24:51 එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.” 23එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය. 24-25ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, “සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් අපෝස්තුළුවරයේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ. 26එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද අපෝස්තුළුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in