2 සාමුවෙල් 18
18
අබ්සලොම්ගේ පරාජය හා මරණය
1දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය. 2තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.
3එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
4“ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. 5රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.
6මෙසේ සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටත් ව ගියෝ ය. සටන එප්‍රායිම් වනයේ දී සිදු විය. 7එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ. 8යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ.
9අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය. 10එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, “අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය.
11ජෝවාබ් එපවත් තමාට කී මිනිසාට කතා කොට, “ඔබ ඔහු දුටුවෙහි ද? එසේ නම් ඔහු එතැන ම මරා බිමට නොදැමුවේ මන් ද? ඔබ එසේ කෙළෙහි නම්, රිදී දසයක් ද ඉඟ පටියක් ද මා ඔබට දෙන්නට තිබුණේ ය”යි කීවේ ය.
12ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නොගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ. 13එසේ හෙයින් මම ඔහුගේ ජීවිතයට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙම් නම්, ඔබ ම මට විරුද්ධ ව සිටිනු ඇත; මන්ද, කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැ”යි කී ය.
14එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නොහැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය. 15ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.
16ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි. 17ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.
18අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.
දාවිත් රජ අබ්සලොම් ගැන ශෝක වීම
19එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.
20ජෝවාබ් ද, “අද ඔබ ආරංචි ගෙන නොයන්න. වෙන දවසක ඔබට ආරංචි ගෙන ගිය හැකි ය. අද රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ම ආරංචිය ගෙන නොයන්නැ”යි ඔහුට කීවේ ය. 21එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.
22එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය.
23එහෙත් ඔහු, “කුමක් වෙතත් මම දුවමි”යි කීවේ ය. ජෝවාබ් ද, “එසේ නම් දුවන්නැ”යි ඔහුට කීවේ ය. එවිට අහීමයාශ් සමභූමියේ මාවතින් දුව ගොස් කුෂීය ජාතිකයා පසු කර ගියේ ය.
24දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය. 25මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය.
26මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, “තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, “ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය.
27මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.
28අහීමයාශ් මොරගසා, “සියල්ල යහපතැ”යි රජුට කියා මුණින්තළා වී වැඳ කතා කොට, “මාගේ රජ්ජුරුවන්ට විරුද්ධ ව තමන්ගේ අත් එසෙවූ මිනිසුන් පාවා දුන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා”යි කීවේ ය.
29“තරුණ අබ්සලොම් සුව සේ සිටින්නේ දැ”යි රජ ඇසී ය. එවිට අහීමයාශ් පිළිතුරු දෙමින්, “ජෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත්, ඔබේ මෙහෙකරු වන මාත් එවනු ලබන විට මහා කෝලාහලයක් දිටිමි; එහෙත්, එය කිමෙක් දැ යි නොදන්නෙමි”යි පිළිතුරු දුන්නේ ය.
30රජ ද, “පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය.
31එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.
32එවිට රජ, “තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය.
33එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, “අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.
Currently Selected:
2 සාමුවෙල් 18: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in