2 රාජාවලිය 6
6
නැති වූ පොරෝ තලය සොයාගැනීම
1දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය. 2ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. “යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.
3එක් කෙනෙක්, “ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. “මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය. 4ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ. 5එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
6එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය.
ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය. 7ඔහු ද කතා කොට, “ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.
සිරියන් රාජ්‍යය පරාජය කිරීම
8සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය. 9දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය. 10දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය.
11මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය. 12ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.
13එවිට ඔහු කතා කොට, “මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය.
“ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී. 14එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය. 15එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
16ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය. 17එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.
18ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක. 19එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.
20තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය.
21ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය.
22ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය. 23ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.
සමාරිය වටලෑම
24ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය. 25කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල්#6:25 සමහර පිටපත්වල පරෙවි වසුරු යනුවෙන් ද සඳහන් වේ. ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.
26ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.
27ඔහු උත්තර දෙමින්, “සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා, 28“ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය.
ඈ ද පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු’යි මේ ස්ත්‍රිය මට කීවා ය. 29#ද්වි.නී. 28:57; විලාප 4:10 එසේ අපි මාගේ පුතා උයා කෑවෙමු. පසු දින ‘ඔබේ පුත්‍රයා අපට කන්න දියන්නැ’යි ඈට කීවෙමි. එහෙත් ඈ ඇගේ පුත්‍රයා සඟවාගෙන සිටියා ය” කීවා ය.
30එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය. 31එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.
සහනය ගැන කල්තියා දැන්වීම
32එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය. 33ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.
Currently Selected:
2 රාජාවලිය 6: SNRV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in