YouVersion Logo
Search Icon

2 වංශාවලිය 17

17
ජෙහෝෂාපාට් රජ වීම
1ආසාගේ පුත් ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව තමාගේ බලය තහවුරු කරගත්තේ ය. 2ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය. 3සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර, 4තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය. 5එබැවින් සමිඳාණන් වහන්සේ ඔහු යටතේ රාජ්‍යය ස්ථිර කළ සේක. සියලු ජුදාවරු ජෙහෝෂාපාට්ට තෑගි ගෙනාහ. වස්තුව ද ගෞරවය ද ඔහුට බොහෝ සෙයින් තිබිණි. 6ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.
7තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද 8ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය. 9ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.
ජෙහෝෂාපාට් රජුගේ බලවත් ක්‍රියා
10සමිඳාණන් වහන්සේ ජුදා රට අවට දේශවල සියලු රාජ්‍යයන් භීතියට පත් කළ නිසා, ඔව්හු ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධ නොකළෝ ය. 11පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය. 12ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.
13ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය. 14ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය. 15ඊළඟට අධිපතියා වූ ජෙහෝහානාන් ය. ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂ අසූදාහක් සිටියෝ ය. 16ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය. 17ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය. 18ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය. 19ඔව්හු රජුට මෙහෙ කළ අය වූ හ. ඔවුන් හැර රජු විසින් මුළු ජුදාහි බලකොටු නගරවල නවතනු ලැබූ අයත් රජුට මෙහෙ කළෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in