YouVersion Logo
Search Icon

2 වංශාවලිය 15

15
දිවැසිවර අසරියාගේ දිවැස් වැකිය
1තවද, දෙවියන් වහන්සේගේ ආත්මානුභාව ඕදෙද්ගේ පුත් අසරියා කෙරෙහි පැමිණියේ ය. 2ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත. 3බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය. 4එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක. 5ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය. 6ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි. 7එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.”
ආසා රජුගේ යහපත් වැඩ
8ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.
9තවද, ඔහු සියලු ජුදාවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් සමඟ එප්‍රායිම්වරුන්ගෙනුත්, මනස්සේවරුන්ගෙනුත්, සිමියොන්වරුන්ගෙනුත් අවුත් සිටි ආගන්තුකයින් ද රැස් කරගත්තේ ය. මන්ද, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙකු ඔහුට එක් වූ බැවිනි. 10ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ. 11ඔවුන් ගෙනා කොල්ලයෙන් ගවයන් සත්සියයකුත්, බැටළුවන් සත්දහසකුත් සමිඳාණන් වහන්සේට ඔව්හු ඒ දවසේ පූජා කළෝ ය. 12තවද, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද සොයන්නත්, 13ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ. 14ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය. 15සියලු ජුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීති වූ හ. මන්ද, ඔවුන් තමන්ගේ මුළු සිතින් දිවුරා, තමන්ගේ මුළු කැමැත්තෙන් උන් වහන්සේ සෙවූ බැවිනි. සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට තමන් වහන්සේ සොයා ගැන්මට ඉඩ දුන් සේක. උන් වහන්සේ ඔවුන්ට හාත්පසින් ම සාමය ලබා දුන් සේක.
16ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය. 17එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය. 18ඔහු තමාගේ පියා ද තමා ද කැප කළ රන් රිදී සහ බඩු භාණ්ඩ දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනාවේ ය. 19ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in