1 සාමුවෙල් 31
31
සාවුල්ගේ මරණය
(1 වංශා 10:1-12)
1පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය. 2පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ ගොස් සාවුල්ගේ පුත්‍රයන් වන ජොනතන් ද අබිනාදාබ් ද මල්කිෂුවා ද මැරූ හ. 3සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය. 4එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය. 5සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහු ද තමාගේ කඩුව පිට වැටී සාවුල් සමඟ මළේ ය. 6මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ. 7ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.
8පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය. 9ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ. 10ඔව්හු සාවුල්ගේ ආයුධ අෂ්ටාරොත්ගේ දේවාලයෙහි තැබූ හ; ඔහුගේ ශරීරය බෙත්ෂාන් නගරයේ පවුරට සවි කොට තැබූහ.
11පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන ජාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල, 12ඔවුන් අතරෙන් සියලු නිර්භීත මනුෂ්‍යයෝ නැඟිට මුළු රෑ බෙත්ෂාන්ට ගමන් කොට පවුරෙන් සාවුල්ගේ මළකඳ ද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන් ද ජාබෙෂ්ට ගෙන අවුත් එහි දී ඒවා ආදාහන කළහ. 13ඉන්පසු ඔව්හු ඔවුන්ගේ ඇටකටු රැගෙන ජාබෙෂ්හි ඒෂෙල් ගස යට වළලා සත් දවසක් උපවාස කළහ.
Currently Selected:
1 සාමුවෙල් 31: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in