1 සාමුවෙල් 19
19
සාවුල් දාවිත් මරන්නට උත්සාහ කිරීම
1දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය. 2ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න. 3ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
4ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. 5ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
6සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය. 7ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.
8නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.
9දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය. 10දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් ඉවතට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. එදා රෑ දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.
11 #
ගීතා 59
එම රැයෙහි සාවුල්, දාවිත්ගේ නිවස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. දාවිත්ගේ බිරිඳ වන මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය. 12මීකල් ද දාවිත් කවුළුවෙන් පහළට බැස්සුවා ය. එවිට ඔහු ද පලා ගොස් ගැළවුණේ ය. 13මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය. 14දාවිත් අල්ලාගෙන යන්නට සාවුල් එවූ සේවකයන් පැමිණි කල, “ඔහු ලෙඩින් ය”යි ඈ කීවා ය. 15ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය. 16ඒ සේවකයෝ ගේ ඇතුළට ගිය කල, හිසට තබා තිබුණ එළු ලොම් කොට්ටය සමඟ තෙරපීම් රූපය ඇඳේ තිබෙන බව දුටුහ. 17සාවුල් මීකල්ට කතා කොට, “ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, “ ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.
18දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ. 19“දාවිත් රාමායේ නායොත්හි සිටින්නේ ය”යි සාවුල්ට දන්වන ලද්දේ ය. 20දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය. 21ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. 22එවිට සාවුල් ද රාමාට ගොස් සේකුහි තිබෙන මහ ළිඳ ළඟට පැමිණ, “සාමුවෙල් සහ දාවිත් මෙතැන සිටිත් දැ”යි ඇසී ය. “අන්න, ඔව්හු රාමායේ නායොත්හි සිටිති”යි කෙනෙක් ඔහුට කීවේ ය. 23සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය. 24#1 සාමු 10:11-12ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.
Currently Selected:
1 සාමුවෙල් 19: SNRV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in