YouVersion Logo
Search Icon

ගීතාවලිය 27

27
විශ්වාසය හා ධෛර්යය
දාවිත්ගේ ගීතයකි.
1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය;
මම කිසිවෙකුට බිය නොවෙමි.
හිමිසඳ මාගේ ජීව ශක්තිය ය;
මට භීතියක් නැත.
2දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.
3බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත.
මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි.
4හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි;
එය තරයේ සොයන්නෙමි.
එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
5විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක;
සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක.
එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
6දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි;
එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි;
හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි.
7හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව;
මට කරුණා කොට උත්තර දුන මැනව.
8“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.
9මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව;
උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව.
ඔබ මාගේ සරණ වන සේක.
මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව;
මා අත් නොහළ මැනව.
10මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය;
එහෙත්, හිමි තුමාණෝ මා පිළිගන්න සේක.
11සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව;
මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව.
12මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව.
බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.
13“ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14සමිඳුන් කෙරේ බලා සිටින්න;
ශක්තිමත් වන්න;
ධෛර්යවත් වන්න;
සමිඳුන් කෙරේ බලා සිටින්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in