YouVersion Logo
Search Icon

මීකා 5

5
1හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.
ඉශ්රායෙල්ට අධිපතියෙක්
2 # මතෙ 2:6; ජොහ 7:42 “එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා!
තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය.
එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය.
එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”
3එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය. 4එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය. 5එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක.
ගැළවීම සහ දඬුවම
අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු. 6#උත් 10:8-11ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.
7ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය. 8ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය. 9ඔබ බාහු බලයෙන් ඔබේ සතුරන් පරාජයට පත් කොට ප්‍රතිවාදීන් සියල්ලන් ම විනාශ කර දමන්නහු ය.
10සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි. 11නුඹලාගේ දේශයේ නගර විනාශ කොට සියලු බලකොටු බිඳ දමන්නෙමි. 12මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි. 13නුඹලාගේ දේව රූප ද රූපස්ථම්භ ද නුඹලා කෙරෙන් සිඳ දමන්නෙමි. අතින් තනාගත් දේවලට නුඹලා තවත් නමස්කාර නොකරන්නහු ය. 14මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි. 15මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.”

Currently Selected:

මීකා 5: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in