YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 6:27-49

ශුද්ධවර ලූක් 6:27-49 NRSV

“මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න. “ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.” “අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක. තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද? ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය. ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.” “නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති. යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.” “මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද? මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි. ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය. එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙ‍හි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”