YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 8

8
පව්කාරියට ගල් ගැසීම
1එහෙත්, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක. 2අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක. 3එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා, 4“ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. 5#ලෙවී 20:10; ද්වි.නී. 22:22-24 මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 6ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 7ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා 8නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. 9ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. 10ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. 11“ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
ලෝකාලෝකයාණෝ
12 # මතෙ 5:14; ජොහ 9:5 යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක. 13#ජොහ 5:31 එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ. 14ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය. 15ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි. 16එහෙත් මා විනිශ්චය කළත්, මාගේ විනිශ්චය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනියම නොව, මා එවා වදාළ පියාණන් වහන්සේත් සමඟ ය. 17‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත. 18මම මා ගැන ම සාක්ෂි දරමි; මා එවා වදාළ පියාණන් වහන්සේ ද මා ගැන සාක්ෂි දරන සේකැ”යි වදාළ සේක. 19එබැවින් ඔව්හු “ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.
20උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.
මම දෙවියන් වහන්සේ ම ය
21ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, “මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක. 22එවිට ජුදෙව්වරු, “ ‘ මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය’යි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසා වත් දැ”යි ඇසූ හ. 23එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි. 24ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක. 25එබැවින් ඔව්හු, “ඔබ කවරහු දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කී පරිදි, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය. 26ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක.
27උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය. 28එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත. 29මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක. 30උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
විමුක්තිදායක සත්‍යය
31එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක. 33#මතෙ 3:9; ලූක් 3:8 ඔව්හු පිළිතුරු දෙමින්, “අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
34ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි. 35වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. 36එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය. 37ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය. 38මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
39“අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. 40එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත. 41ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ. 42ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක. 43මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි. 44ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය. 45මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය. 46පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද? 47දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.
ආබ්‍රහම්ට පළමුවෙන් මම වීමි
48ජුදෙව්වරු උත්තර දෙමින්, “ඔබ සමාරියයෙකු බවත්, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ”යි ඇසූ හ. 49උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, “මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය. 50එසේ වුව ද, මම මාගේ ම ගෞරවය නොසොයමි. එය සොයන, විනිශ්චය කරන, කෙනෙක් සිටිති. 51ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
52ජුදෙව්වරු කතා කරමින්, “ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය. 53මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
54ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය. 55ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි. 56ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක. 57ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ. 58“ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.
59ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in