YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 10

10
බැටළු ගාල පිළිබඳ උපමාව
1ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ. 2එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය. 3දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට, 4උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති. 5එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව, ඔහු වෙතින් පලා යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි”යි වදාළ සේක.
6ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුම් නොගත්හ.
යහපත් එඬේරාණෝ
7එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය. 8මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ. 9දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය. 10සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.
11“යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය. 12එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය. 13ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය.
14“යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති. 15#මතෙ 11:27; ලූක් 10:22 පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි. 16තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.
17“මා පියාණන් මට ප්‍රේම කරන්නේ, මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි. 18කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක.
19මේ වදන් නිසා ජුදෙව්වරුන් අතර නැවත භේදයක් හටගත්තේ ය. 20ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, “ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ”යි කී හ. 21“මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ.
ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම
22එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය. 23ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක. 24එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.
25ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති. 26එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය. 27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති. 28මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති. 29ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය. 30මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.
31උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ. 32එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක. 33#ලෙවී 24:16 ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34 # ගීතා 82:6 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද? 35එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය. 36එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද? 37මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න. 38එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40 # ජොහ 1:28 උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක. 41බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ. 42එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in