YouVersion Logo
Search Icon

ජෙරමියා 51

51
බබිලෝනිය පිළිබඳ තවත් විනිශ්චයයක්
1සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“බලන්න!
මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.
2මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි.
විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.
3තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න.
ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න.
4කඩුවෙන් නැසුණු අය බබිලෝනියාවේ වීදිවල වැටී සිටින්නෝ ය.
තුවාළ වූවෝ ද වීදිවල වැටී සිටින්නෝ ය.
5සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත.
එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ.
ඔවුන් අත්හැරදමා ඇත.
6ඇගේ දඬුවමට නුඹ ගොදුරු නොවී යන්න.
ඇයට නියම විපාකය දෙන සමිඳාණන්ගේ දඬුවම් දීමේ දවස දැන් පැමිණ තිබේ.
7 # එළිද 17:2-4; 18:3 බබිලෝනිය වනාහි මාගේ අතේ තිබුණු, මුළු පොළොව වෙරිමත් කළ රන් කුසලානක් වැනි ය.
ඇගේ මිදියුසින් ජාතීහු බීවෝ ය.
එබැවින් ජාතීහු මත් වී සිටිති.
8බබිලෝනිය හදිසියේ වැටී විනාශ වූවා ය.
ඈ ගැන වැලපෙන්න;
ඇයට සුව වේ දැ යි බලන පිණිස ඇගේ තුවාළ ගුගුල් ඖෂධයෙන් ආලේප කරන්න.
9 # එළිද 18:5 විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු;
එහෙත්, ඈට සුවය ලැබී නැත.
අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු.
මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.
10අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක:
එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.
11“සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක.
මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි.
පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න;
පලිස් සූදානම් කරගන්න.
12බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න.
මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා;
රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ.
සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක.
13 # එළිද 17:1 “එම්බා! බොහෝ ජලයෙන් සාරවත්, වස්තු සම්භාරයෙන් ධනවත් බබිලෝනි වැසිය, නුඹේ අවසානය දැන් ළඟා වී තිබේ.
නුඹේ පණ කෙන්ද කපනු ඇත.
14බබිලෝනියට පහර දෙන පිණිස පළඟැටි සමූහයක් මෙන් විශාල සෙනඟක් ගෙනෙන බවට සව් බලැති සමිඳුන් සිය නාමයෙන් දිවුරා ඇත.
ඔවුන් ඝෝෂා නඟනු ඇත.”
දෙවියන් වහන්සේට ප්‍රශංසා ගීයක්
15“සමිඳාණෝ සිය බලයෙන් පොළොව සෑදූ සේක;
සිය ප්‍රඥාවෙන් ලෝකය මැවූ සේක.
සිය බුද්ධියෙන් අහස විදහා ලූ සේක.
16එතුමන්ගේ අණින් අහසේ ජල ඝෝෂාවක් ඇති වන්නේ ය.
එතුමාණෝ පොළොවේ සීමාවලින් වලාකුළු නැඟී එන්නට සලසන සේක;
වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක;
සිය ගබඩාවලින් සුළඟ හමවන සේක.
17මේ හේතුව නිසා, සියලු මනුෂ්‍යයෝ කිසි දැනගැන්මක් නැති අනුවණයන් මෙන් වෙති.
සියලු රන්කරුවෝ තමන්ගේ කැපූ රූප ගැන ලජ්ජාවට පැමිණ සිටිති.
මන්ද, ඔවුන් තැනූ රූප සත්‍යයක් පිළිබිඹු නොකරයි.
ඒවා ජීවමාන නොවෙයි.
18ඒවා නිෂ්ඵල, රවටන සුලු කෘතීහු ය.
ඒවාට දඬුවම් කරන කාලය පැමිණි විට ඒවා විනාශ වී යනු ඇත.
19ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නොවන සේක.
එතුමාණෝ වනාහි සියලු දේ මැවූ තැනැන් වහන්සේ ය.
ඉශ්රායෙල් වනාහි එතුමන් තෝරාගත් ගෝත්‍රය ය.
එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.”
සමිඳුන්ගෙන් වන විනාශය
20“සමිඳාණෝ මෙසේ වදාරන සේක:
‘එම්බා බබිලෝනිය!
නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය.
මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි;
රාජ්‍යයන් විනාශ කරන්නෙමි.
21අශ්වයාත්, අශ්වාරෝහකයාත් මම විනාශ කරන්නෙමි.
රිය සහ රිය සෙබළුන් විනාශ කරමි.
22ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි.
තරුණ තරුණියන් ද නැති කරදමමි.
23එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි.
ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි.
ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ “
බබිලෝනියට දඬුවම
24“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත. 25එම්බා බබිලෝනිය!
නුඹ මුළු පොළොව විනාශ කරන කන්දක් හා සමාන ය.
එහෙත්, ස්වාමීන් වන මම නුඹේ සතුරා වෙමි.
මාගේ බාහුව නුඹට විරුද්ධ ව ඔසවා පර්වතවලින් නුඹ පෙරළා දමා පිළිස්සී ගිය කන්දක් මෙන් කරන්නෙමි.
26ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ.
නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
27“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න.
ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න.
ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න.
කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.
28බබිලෝනියට විරුද්ධ ව සටන් කරන පිණිස ජාතීන් ද මේදයේ රජවරුන් ද එහි ආණ්ඩුකාරයන් ද එහි නියෝජ්‍ය ප්‍රධානීන් ද ඔවුන් යටතේ ඇති සියලු දේශයන් ද සූදානම් කරන්න.
29පොළොව කම්පා වෙයි;
වේදනාවෙන් මෙන් ඇඹරෙයි.
මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.
30බබිලෝනියේ හේවායෝ සටනින් පසු බැස තමන්ගේ බලකොටුවල රැඳී සිටිති.
ඔවුන්ගේ බලය හීන වී ඔව්හු ස්ත්‍රීන් මෙන් දුබල වී සිටිති.
බබිලෝනියේ වාසස්ථාන ගිනි ලා තිබේ.
නගරයේ දොරටු කඩාදමා තිබේ.
31නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.
32එහි වරායයන් අල්ලාගනු ඇත;
පවුරු ගින්නෙන් දැවී ඇත;
හේවායෝ බියෙන් වෙවුළති.
33බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය.
තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත.
ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.
34“බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර,
පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත.
ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.
35‘අපටත් අපේ වංශයටත් කළ සැහැසිකම් බබිලෝනිය පිට වැටේ වා’යි සියොන්හි සෙනඟ කියත් වා!
ජෙරුසලමෙහි සිඳ හෙළුණු ලෙය කල්දිවරුන් පිට වැටේ වා’යි ජෙරුසලම් වැසියෝ කියත් වා.”
ඉශ්රායෙල්ට සමිඳුන්ගේ උපකාරය
36එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ජනයාට මෙසේ වදාළ සේක:
“මම නුඹලාට යුක්තිය ඉටු කරමි.
නුඹලා උදෙසා පළිගන්නෙමි.
මම බබිලෝනියේ මුහුද හිඳී යන්නට සලස්වා, ඇගේ උල්පත් වියළී යන්නට සලස්වන්නෙමි.
37එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය;
සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය;
භීතියට හා සරදමට කරුණක් වන්නී ය.
38බබිලෝනි ජනයා එක් ව සිංහයන් මෙන් නාද කරනු ඇත;
සිංහ පැටියන් මෙන් ගොරවනු ඇත,
39ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.
40බැටළු පැටවුන් ද බැටළුවන් සහ එළුවන් ද මෙන් ඝාතනය පිණිස මම ඔවුන් ගෙනෙන්නෙමි.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
බබිලෝනියේ ඉරණම
41සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
“බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි!
මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි!
බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!
42මුහුද බබිලෝනිය පිට ගලා ආවේ ය.
එහි රැළ රාශියෙන් බබිලෝනිය යට වී ගියේ ය.
43බබිලෝනියේ නගර බියකරු ඉඩමක් ද වියළි බිමක් ද මරුකතරක් ද කිසි මිනිසෙකු වාසය නොකරන,
කිසිවෙකු එහි ගමන් නොකරන දේශයක් ද වී තිබේ.
44මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි.
ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය.
එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.
45ඉශ්රායෙල් ජනයෙනි, බබිලෝනියෙන් පිට වී ගොස් මාගේ බලවත් උදහසින් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න.
46දේශයේ දී නුඹලා අසන ආරංචි නිසා නුඹලාගේ සිත් අධෛර්යයට හා බියට ඉඩ නොදෙන්න.
මන්ද, දේශයෙහි සැහැසිකම ගැන ද රජ කෙනෙකු රජ කෙනෙකුට විරුද්ධ ව සටන් කිරීම ගැන ද එක අවුරුද්දක එක ආරංචියක් ද ඊට පසු අවුරුද්දේ තවත් ආරංචියක් ද පැතිර යන්නේ ය.
47එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය.
මුළු දේශය ලජ්ජාවට පමුණුවනු ලබන්නේ ය.
මරනු ලබන සියල්ලෝ එහි ම වැටී සිටින්නෝ ය.
48 # එළිද 18:20 එවිට ස්වර්ගය ද පොළොව ද එහි සිටින සියල්ලෝ ද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
මන්ද, බබිලෝනිය විනාශ කරන්නට උතුරෙන් සතුරා පැමිණෙයි.
ඈ අසුවන්නී ය.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
49මරණයට පත් ඉශ්රායෙල් සෙනඟ නිසා බබිලෝනිය විපතට පත් වූවාක් මෙන්, මුළු පොළොවේ මරණයට පත් වූවන් බබිලෝනිය හමුවේ වැටෙනවා ඇත.”
බබිලෝනියේ ජුදෙව්වරුන්ට පණිවුඩය#එළිද 18:24
50සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
“කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න.
දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.
51‘අපි නින්දා බස් ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමු.
විදේශීන් සමිඳුන්ගේ මාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුළු වූ බැවින් අපි වියවුලට පත් වී සිටිමු’යි නුඹලා කියන්නහු ය.
52එබැවින් මා බබිලෝනියේ දේව රූපවලට දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය.
‘දේශය මුළුල්ලෙහි තුවාළ ලැබූ අය කෙඳිරිගානු ඇතැ’යි මම කියමි.
53බබිලෝනිය අහස උසට නැගුණත්, එහි ශක්තිමත් බලකොටු සාදාගත්තත් මා යවන විනාශකයන් ඈ කරා පැමිණෙනු ඇත.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
බබිලෝනිය තවදුරටත් විනාශ කරනු ලැබීම
54“සවන් දෙන්න.
බබිලෝනියෙන් මොරගැසීමේ ශබ්දයක්, කල්දිවරුන්ගේ ඒ දේශයෙන් මහත් විනාශයේ ශබ්දයක් ඇසෙයි.
55සමිඳාණන් වහන්සේ බබිලෝනිය විනාශ කරන සේක.
ඇගේ උස් කටහඬ නිශ්ශබ්ද කරන සේක.
නඟින රළපතර මෙන් ඔවුන්ගේ ඝෝෂාව නැඟෙයි.
56විනාශකාරයා බබිලෝනිය විනාශ කරන්නට පැමිණ සිටියි.
බබිලෝනියේ හේවායන් අසු වී ඇත.
ඔවුන්ගේ දුනු කඩා කැබලි කරනු ලැබී ය.
සමිඳාණන් වහන්සේ නපුරට විපාකය දෙන දෙවියන් වහන්සේ ය.
උන් වහන්සේ බබිලෝනියට යුතු ලෙස විපාක දෙන සේක.
57මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි.
ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය.
මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.
58බබිලෝනියේ පළල් පවුරු සහමුලින් ම හෙළාදමනු ලබන්නේ ය.
ඇගේ උස් දොරටු ද ගින්නෙන් දවනු ලබයි.
සෙනඟගේ වෙහෙසීම් නිෂ්ඵල ය.
ජාතීන්ගේ වීර්යයන් ගින්නෙන් දැවී ගොස් ඇත.”
ජෙරමියාගේ පණිවුඩය බබිලෝනියට යවනු ලැබීම
59මයසේයාගේ පුත් වූ නේරියාගේ පුත් වන සෙරායා ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රජ දවසේ සතර වන අවුරුද්දේ දී ඔහු සමඟ බබිලෝනියට යන විට දිවැසිවර ජෙරමියා සෙරායාට මේ ආඥාව දුන්නේ ය. සෙරායා වනාහි රජුගේ ගබඩා නිලමේ විය. 60බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය. 61ජෙරමියා සෙරායාට කතා කරමින්, “ඔබ බබිලෝනියට පැමිණි විට මේ සියලු වචන සෙනඟට ඇසෙන ලෙස කියවන්න. 62මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’ 63#එළිද 18:21තවද, ඔබ මේ පොත කියවා නිම වූ විට, එයට ගලක් බැඳ, යුප්‍රටීස් ගංගාව මැදට එය හෙළා, 64‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.”
ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ජෙරමියා 51