YouVersion Logo
Search Icon

ගලාති 5

5
ක්‍රිස්තියානි නිදහස
1ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.
2ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි, 3එසේ ය, චර්මඡේදනය ලබන සැම දෙන ම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට බැඳී සිටින බව නැවතත් මම සහතික කොට කියමි. 4ව්‍යවස්ථාව මඟින් දමිටු බවට පත් වෙන්න සොයන ඔබ ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් කරන ලද්දහු ය. ඔබ දේව වරප්‍රසාදය නැති කරගෙන සිටින්නහු ය. 5මන්ද, අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් දමිටු කරනු ලැබීමේ බලාපොරොත්තුව ගැන පුල පුලා බලා සිටිමු. 6ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත. 7ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද? 8ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ. 9#1 කොරි 5:6මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ. 10ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.
11සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ. 12මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය.
13සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න. 14#ලෙවී 19:18 මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි. 15එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
ආත්මයාණන්ගේ මඟපෙන්වීම
16ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. 17#රෝම 7:15-23 මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය. 18එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය. 19මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම, 20රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්, 21වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
ආත්මයාණන්ගේ පල
22එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, 23මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත. 24ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත. 25අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු. 26නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.

Currently Selected:

ගලාති 5: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy