එසකියෙල්ගේ 16
16
අවිශ්වාසී ජෙරුසලම
1නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න: 3‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “
“ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. 4නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත. 5නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.
6“ ‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී 7කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය.
8“ ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක.
9“ ‘එවිට මම නුඹ වතුරෙන් නාවා, නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙළෙමි. 10විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි. 11මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි. 12නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි. 13මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය. 14නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
15“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය. 16නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත. 17මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. 18නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. 19මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.
20“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය. 21නුඹ වේශ්‍යාකම් කළා පමණක් නොව, නුඹ මාගේ දරුවන් ඝාතනය කර ගිනි පූජාවක් ලෙස ඔප්පු කෙළෙහි ය. 22නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ “
වේශ්‍යාකම් කළ ජෙරුසලම
23“ ‘එම්බා ජෙරුසලම! නුඹට වන දරුණු විපතක මහතැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මන්ද, නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු, 24නුඹ සෑම වීදියක ප්‍රසිද්ධ තැන්වල වේශ්‍යාකම් කිරීම සඳහා ද දේව රූපවලට නැමදීම සඳහා ද ස්ථාන සාදාගත්තෙහි ය. 25නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය. 26තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.
27“ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.
28“ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය. 29නුඹ කානාන් දේශයෙහි දී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. එහෙත්, නුඹ එයිනුත් සෑහීමට නොපැමිණියෙහි ය.
30“ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක. 31එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත. 32නුඹ නම්, සිය ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනු වෙනුවට අමුත්තන් සමඟ කම් සැප විඳින ස්ත්‍රියක වැනි ය. 33සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය. 34එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ “
ජෙරුසලම කෙරෙහි දේව විනිශ්චය
35“ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
36“ ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය. 37එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි. 38පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි. 39මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.
40“ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත. 41ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ ස්ත්‍රීන් බලා සිටිය දී නුඹ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරනු ඇත. වේශ්‍යාකම් කිරීමෙන් මම නුඹ නවත්වන්නෙමි; පෙම්වතුන්ට මුදල් දීම ද නවත්වන්නෙමි. 42මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි. 43නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ “
මව යම් සේ ද දුවත් එසේ ම ය
44“උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත. 45ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.
46“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ. 47එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.
48“මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි; නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරී වූ සොදොම සහ ඇගේ දූවරුන් කෙළේ නැත් මැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 49නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත. 50ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි.
51“සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි. 52නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”
සොදොම් හා සමාරියේ පුනරුත්ථාපනය
53“සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි. 54නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත. 55නුඹේ සහෝදරියන් වන සොදොම් සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; සමාරිය සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; නුඹ සහ නුඹේ ගම් ද නුඹලාගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත. 56-57නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත. 58නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”
සදහට ම පවතින ගිවිසුමක්
59“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි. 60එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. 61නුඹේ වැඩිමහල් වූ ද බාල වූ ද සහෝදරියන් ආපසු පිළිගත් විට නුඹ නුඹේ කල්ක්‍රියාව සිහි කොට ලජ්ජාවන්නෙහි ය. නුඹ සමඟ මා කළ ගිවිසුමේ කොටසක් නොවූවත්, මම ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි. 62මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. 63නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Currently Selected:
එසකියෙල්ගේ 16: NRSV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society