YouVersion Logo
Search Icon

සෙකරියා 8

8
සෙනඟ අවංකව කීකරුව සිටියොත් ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරන බව
1තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 3මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 4නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත. 5එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 6සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 7බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි; 8ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 9සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා. 10මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි. 11නුමුත් දැන් මේ සෙනඟගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 12මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි. 13එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා. 14මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම, 15මේ දවස්වලදී යෙරුසලමටත් යූදා වංශයටත් යහපත කරන්ට මම නැවත අදහස්කරගන සිටිමි. භය නොවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 16නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න. 17නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
18තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 19හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 20සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍ය වර්ගයෝද බොහෝ නුවරවල වැසියෝද මින්මතු එන්නෝය. 21එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්–අපි ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ සොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය. 22එසේය, බොහෝ සෙනඟද බලවත් ජාතීහුද සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි සොයන්ටත් ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ඉල්ලන්ටත් එන්නෝය. 23ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන–අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for සෙකරියා 8