YouVersion Logo
Search Icon

රෝම 10

10
1සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය. 2මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ. 3මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය. 4මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
ධර්මිෂ්ඨකමේ අලුත් මාර්ගය සියල්ලන්ටම බව
5මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ. 6නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,–ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස–‘ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,– 7ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,–’පාතාලයට බසින්නේ කවුද කියාවත් නුඹේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද? 8වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය. 9කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. 10මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය. 11උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය. 12මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක. 13මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. 14එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? 15(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ. 16නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි. 17මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය. 18නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්,
ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.
19නුමුත් ඉශ්‍රායෙල් නොදැන සිටියේදැයි අසමි:
ජාතියක් නොවන්නන් කරණකොටගෙන නුඹලා ජ්වලිතකරවන්නෙමි, තේරුම් නැත්තාවූ ජාතියක් කරණකොටගෙන නුඹලා කෝපකරවන්නෙමියි
පළමුකොට මෝසෙස් කියයි. 20ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි;
මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි
කියයි. 21නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.

Currently Selected:

රෝම 10: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy